ජනතාව විත්තිකරුවන් කරන්න එපා එහෙම වුණොත් ප‍්‍රචණ්ඩකාරී වේවි

719

හිටපු ඇමැති ඩලස් සියලූ දේශපාලනඥයන්ගෙන් ඉල්ලයි

අද වීදි පුරා ගලා යන ජනතාව පෙළන පීඩනයේ ප‍්‍රකාශනය හමුවේ ජනතාව දෙස විත්තිකරුවන් ලෙස නොව පැමිණිලිකරුවන් ලෙස බලන්නැයි හිටපු ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සමස්ත දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියි.

තවමත් සාමකාමී ලෙස විහිදෙන එම පීඩනයේ ප‍්‍රකාශනය ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයකට පරිවර්තනය වීමට ඉඩ නොතැබීම මහජන නියෝජිතයන් ලෙස සියලූ දෙනාගේ වගකීම බවද ඒ මහතා සඳහන් කරයි. ජනතාව පාරට ගෙන ආ අරගලය නිර්පාක්‍ෂික මෙන්ම ඔවුන්ගේ ගැටලූ ද නිර්පාක්‍ෂික වන බැවින් සියලූ දෙනා ඒවාට විසඳුම් සෙවිය යුත්තේද නිර්පාක්‍ෂිකව බව හිටපු ඇමැතිවරයා පෙන්වා දෙයි.

එසේ වුවද මේ තීරණාත්මක මොහොතේදීත් උත්තරීතර පාර්ලිමේන්තුවටද නිගා දෙමින් සිදු වෙමින් තිබෙන්නේ ද්වේශ සහගතව බෙදෙමින් වාග් හරඹයක් පමණක් බවද ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියි.

අද රටේ පුරවැසියන් 225 නපුරු අංකයක් ලෙස දකිමින් සිටින්නේ දේශපාලනඥයන් වන අප පාර්ලිමේන්තු වරප‍්‍රසාදයන් තුළ ආරක්‍ෂිතව සිටිමින් සහෝදර පුරවැසියාගේ අනාරක්‍ෂිතභාවය දෙස නොබැලීම නිසා බවද ඒ මහතා පවසයි.

ජනතාව විත්තිකරුවන් කරන්න එපා එහෙම වුණොත්  ප‍්‍රචණ්ඩකාරී වේවි

තම රටට අසීමිතව ආදරය කරන අපගේ පුරවැසියන් වූ ශී‍්‍ර ලාංකිකයන්ගේ විශ්වසනීයත්වය දිනාගත හැකි හැරවුම් ලක්‍ෂ්‍යයකට දේශපාලනඥයන් ලෙස අප පියවර තැබුවහොත් ඔවුන් අපව තේරුම් ගන්නා බව තමන්ගේ විශ්වාසය බවද සඳහන් කරන ඩලස් අලහප්පෙරුම මහතා එය තවමත් ප‍්‍රමාද නැති බවද කියා සිටියි.

එනිසා ජනතාවට සවන් දෙමින්, ජනතාවට ප‍්‍රතිචාර දක්වමින්, ජනතාවට සංවේදී වෙමින්, උපකාරී වෙමින් සහ සුබවාදී වෙමින් කටයුතු කළ යුතුව ඇතැයිද පෙන්වා දෙන හිටපු ඇමැතිවරයා මෙහිදී විත්තිකරුවන් කවරෙක්දැයි යන්න පිළිබඳ කිසිවකුට හෝ සැකයක් පවතී නම් ඔවුන් හඳුනා ගැනීමට ඇති පහසුම කි‍්‍රයාමාර්ගය වන්නේ මෙරට සියලූම විධායක ජනාධිපතිවරුන් සහ විධායක ක‍්‍රමය ආරම්භයේ සිට අද දක්වා සිටින සියලූම මන්තී‍්‍රවරුන් කණ්ණාඩියක් ඉදිරියට යෑම පමණක් බවද සඳහන් කරයි.

මෙහිදී වැදගත් වන්නේ 225 අප එය අවබෝධ කර ගැනීමට තවත් ප‍්‍රමාද වනවාද ප‍්‍රශ්නය පමණක් බව වැඩිදුරටත් සඳහන් කරන ඩලස් අලහප්පෙරුම මහතා ආදරය නොමැති බලය විසින් ඉතිහාසය පුරාම ලොවට දී ඇති අමිහිරි, අප‍්‍රසන්න පණිවිඩ කියවා ගන්නට තවත් ප‍්‍රමාද විය යුතු නැතැයිද අවධාරණය කරයි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment