ගවයින්ගේ සමෙහි ගැටිති රෝගය පාලනයෙන් ගිලිහෙන හැඩක්

176

රෝගය පැතිරෙද්දී නුවරඑළිය මස් කඩ ඇරලා
පශු වෛද්‍යවරු චෝදනා නඟති

ගවයින්ගේ සමෙහි මතුපිට ගැටිති ඇතිවීමේ රෝගය මේ දිනවල දිවයින පුරා පැතිර යන නිසා එම රෝගය පාලනය කිරීමට මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂවරයා විසින් 2023.05.31 දින නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන බව පශු වෛද්‍යවරු චෝදනා කර සිටිති.

මධ්‍යම පළාතේ හාරිස්පත්තුව, හතරලියද්ද, උඩුනුවර, පූජාපිටිය, දඹුල්ල, විල්ගමුව, නුවරඑළිය සහ රාගල යන පශු වෛද්‍ය කොට්ඨාසවල මෙම රෝගය සහිත සතුන් හඳුනාගෙන ඇති නිසා එම රෝගය පාලනය කිරීමට පශු වෛද්‍ය කොට්ඨාස තුළින් සත්ව ප්‍රවාහන බලපත් නිකුත් කිරීම තාවකාලිකව නතර කර තිබියදී නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි ගව ඝාතකාගාර විවෘත කර ඇති බවත්, එයට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම නගරවල පිහිටි ගව මස් වෙළෙඳ සල්ද විවෘත කර ඇති බවට පශු වෛද්‍යවරු කියා සිටිති.

ගවයන් ප්‍රවාහනය බලපත්‍ර නිකුත් කර නොතිබියදී ගව මස් වෙළෙඳ සල් හිමියන් ඉතා සූක්ෂම ලෙස ගව ඝාතකාගාර වෙත ගවයන් ප්‍රවාහනය කර ඝාතනය කර ගව මස් අලෙවි කිරීම සිදු කරන බව පශු වෛද්‍යවරු පෙන්වා දෙති.

මෙම තත්ත්වය පාලනය කිරීමට නොහැකි වුවහොත් නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා ගවයන්ගේ සමෙහි ගැටිති ඇතිවීමේ රෝගය පැතිර යෑමේ අවදානමකට ලක් විය හැකි බව පශු වෛද්‍යවරු වැඩිදුරටත් පැවසූහ.
නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment