රන්වන්තලාගම කාන්තාවක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

79

දිනපතාම ගම් වදින වන අලි නිසා අප ජීවත් වන්නේ බියෙන්
ගම්වැසියෝ දුක කියති

තඹුත්තේගම පොලිස් වසමේ තිස්පනේපුර, රන්වන්තලාගම ගම්මානයේ නිවසක් ඉදිරිපිටදී ඊයේ (21) අලු‍යම වන අලියකු සිදුකළ පහරදීමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (21) උදෑසන 5.20 ට පමණ උදෑසන ආහාර පිසිමින් සිට, කරපිංචා අත්තක් කඩා ගෙන ඒම සඳහා නිවස ඉදිරිපිට පිහිටි තම මවගේ නිවසට යමින් සිටි කාන්තාවක් මෙලෙස වන අලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇත. වන අලියා පහරදීම සිදු කරන විට ඇය කෑ ගසා ඇති අතර, ඒ කෑගැසීමට නිවැසියන් පැමිණෙන විට ඇය වන අලියාගේ පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා බිම වැටී සිට ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තඹුත්තේගම, තිස්පනේපුර, රන්වන්තලාගම, පදිංචි සූරියපටබැඳිගේ ජෙනට් ශ්‍රියානී මල්කාන්ති නම් 63 හැවිරිදි කාන්තාවකි. වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව කඩිනමින් තඹුත්තේගම රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව තඹුත්තේගම රෝහල් ප්‍රකාශකයකු පැවසීය. මියගිය කාන්තාවගේ දේහය මේ වන විට තඹුත්තේගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

තඹුත්තේගම, කොත්මල්පුර, තිස්පනේපුර, සමන්එළිය, රන්වන්තලාගම ආදී ගම්මාන කීපයකම ජීවත් වන්නේ කොත්මලේ ජලාශය ඉදිකිරීම වෙනුවෙන් තම නිජබිම් ලබා දී මීට වසර 40 කට පමණ පෙර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචියට පැමිණි ජනතාවයි. ඔවුන් බොහෝ දෙනෙකු ගොවිතැනින් දිවි සරි කරගන්නා අතර, ඔවුන්ට ඇති ප්‍රධානම ප්‍රශ්නය වන්නේ වන අලි තර්ජනයයි. නිරන්තරයෙන් ගම් වදින වන අලින් මෙම ගම්මානයේ වගා බිම්, දේපළ නිරන්තරයෙන් විනාශ කර දමන බව ගම්වාසීහු පවසති.

ඊ‌යේ (21) රාත්‍රිය පුරාම වන අලින් දෙදෙනකු ගම්මානය පුරා සැරි සැරූ බවත්, එම වන අලින් නිවාස අසල නිරන්තරයෙන් රැඳී සිටින බවත් ගම්වාසීහු පවසති. ගම්මානය වටා අලි වැටක්ද ඉදිකර නැතැයි ඔවුහු පවසති.
තිසර සමල් – නොච්චියාගම

advertistmentadvertistment
advertistmentadvertistment