නතාෂා – බෲනෝ 21 දා තෙක් රිමාන්ඩ්

174

විදර්ශනලාගේ ප්‍රවෘත්ති සාකච්ඡාව ගැනත් විමර්ශනයක්

බුදුන් වහන්සේට හා බොදු දහමට නිගරු වන ආකාරයෙන් ප්‍රකාශ කළේ යැයි චෝදනා එල්ල වී ඇති නාතාෂා එදිරිසූරිය හා එකී ප්‍රකාශ අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ඇතුළු චෝදනා එල්ල වී ඇති බෲනෝ දිවාකර ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (07 දා) නියෝග කළේය.

පළමු සැකකාරිය රක්ෂිත බන්ධනාගාර භාරයට පත් කිරීමෙන් අනතුරුව ඇයට ඇප ලබාදෙන ලෙසට අධිකරණයට බලපෑම් වන ආකාරයෙන් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර වහාම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරනා ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

විදර්ශන කන්නන්ගර ඇතුළු පස්දෙනකු සිදු කර ඇති එකී ක්‍රියාව මගින් අධිකරණයට අපහාසයක් මෙන්ම බලපෑමක් ද සිදු කර ඇතැයි පෙන්වා දෙමින් සිංහල රාවය සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුසන්ත කුමාර මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

නඩුවට හේතුපාදක වූ ප්‍රකාශ සිදු කළ ‘මෝඩාභිමානය නමැති එම වැඩසටහන පැවැත්වීම සඳහා රංග ශාලාව ලබාගැනීමට අවසර ලබාගැනීමට පෙර එක් එක් ඉදිරිපත් කරන්නන් එහිදී ඉදිරිපත් කරනු ලබන අදහස් සහිත පිටපත් රැඟුම් පාලක මණ්ඩලයට ලබාදී ඒ සඳහා අනුමැතිය ලබාගත යුතු වුවත් නාතාෂා එදිරිසූරිය ඇගේ ඉදිරිපත් කිරීමට අදාළ පිටපත ලබාදීම චේතනාන්විතව පැහැර හැර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසීය.

එකී වැඩසටහනට අදාළ ප්‍රචාරය කළ දර්ශන නතාෂා එදිරිසූරිය නමැති සැකකාරිය මේ දක්වා ලබාදී නැතැයි ද එහිදී අධිකරණයට පැවසූ විමර්ශන නිලධාරීන් එම සැකකරුවන් දෙදෙනාම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇතැයි ද පැවසීය.

සැබෑ බොදු දහම පිළිපදිනා ඒ අනුව කටයුතු කරන කිසිවකු එම වැඩසටහනේ නාමය අනුව මෝඩාභිමාන ලෙස කටයුතු කළ කිසිවකුට වෛරය නොකරන බවත් වැඩසටහනේ නම අනුවම එය මෝඩයන්ට තිබෙන අභිමානය පිළිබිඹු කිරීමක් මිස බුදු දහමට හෝ බුදුන් වහන්සේට කිසිදු අපහාසයක් සිදු කර නොමැති බව නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට පැවසීය.

බොදු දහම ඉගැන්වූ සත්‍ය ජයගනී යන සත්‍ය මත පිහිට නොසැලී සිටින සැබෑ බෞද්ධයන් එවැනි කටයුතුවලින් කලබල නොවනා නමුත් බෞද්ධ ලේබලය දාගෙන දේශපාලනය කරනා පිරිසක් එයට කලබල වීම හාස්‍යයක් වන්නේ යැයි දෙවන සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට පැවසීය.

යම් ධර්මයක් හෝ ආගමක් සම්බන්ධයෙන් කෙනෙකුගේ තිබෙන විශ්වාසය ප්‍රශ්න කිරීමට තවකෙනකුට හැකියාව ඇතත් එකී විශ්වාසයට අභියෝග කිරීමේ හැකියාව කිසිවකුට නැතැයි ද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.

නාතාෂා වැනි අය අදටත් ජීවත් වනුයේ අප රට තුළ බෞද්ධ ධර්මය අනුව ජීවත් වන බොහෝ පිරිසක් ජීවත් වන නිසාවෙන් වන්නේ යැයි පැවසූ නීතිඥ මනෝජ් ගමගේ මහතා සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා අනුව මහාධිකරණයට මිස ඔවුන්ට ඇපදීමේ නීතිමය බලයක් මහෙස්ත්‍රාත් අධිකරණයට නොමැති බව ද අධිකරණයට පැවසීය. ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායමක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment