කඳුළු ගෑස් ප්‍රහාරයට එරෙහිව අන්තරේ මානව හිමිකම් යයි

60

20 දෙනකුගේ ඔළු පැලුවා – කැඳවුම්කරු චෝදනා කරයි

ජ’පුර විශ්වවිද්‍යාලය අසලදී පොලිසිය කඳුළු ගෑස් ගහලා බැටන් පොලුවලින් ගහලා සහෝදරවරුන් 20 කට වැඩි පිරිසකගේ ඔලු පැලුවා. තුවාල කෙරුවා. මේකට එරෙහිව අපි මානව හිමිකම් කොමිසමට ගිහින් පැමිණිලි කළා. මේ දුර්දාන්ත ආණ්ඩුව සිදුකරන මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව ඉදිරියේදී රටේම ජනතාව පෙළ ගස්වනවා’ යැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ‘දිවයින’ට ඊයේ (19 දා) පැවසීය.

ජනමතයක් නොමැතිව පත්වූ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ඉදිරියේදී පෙළ ගැසෙන ජනතා රැල්ලක් සමග කුමකින් කුමක් සිදුවේද යන්නත් සිතාගත නොහැකි යැයි හෙතෙම කීය.

මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගෙන අන්තර් විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලය විරෝධ පා ගමන (17 දා) සංවිධානය කර තිබූ අතර එහිදී පොලිසිය එය විසුරුවා හැරීමට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.

තවදුරටත් කතා කළ මධුෂාන් චන්ද්‍රජිත් මෙසේද කියා සිටියේය.

මේ විරෝධතා පා ගමන 17 වැනිදා සවස ජ’පුර විශ්වවිද්‍යාලය අසලින් පටන් ගත්තේ විශ්වවිද්‍යාල පද්ධතිය බේරාගන්න හා ජනතාවගේ ගැටලුවලට විසඳුම් ඉල්ලලා. බොහොම සාමකාමී විදිහට ගමන් කරපු පා ගමනට කඳුළු ගෑස් ගැහුවා. කඳුළු ගෑස් ගැහුවේ කෙළින්ම මූණවල්වලට. ඉතාම අමානුෂික විදිහට පන්න පන්නා පහර දුන්නා. විශ්වවිද්‍යාල සහෝදරවරුන් සහෝදරියන් 20 කට වැඩි පිරිසකට තුවාල වුණා. මේ දුමට හුස්ම හිරවුණු සහෝදරවරුන් දෙන්නෙක් කළුබෝවිල රෝහලේ. ආණ්ඩුව ගෙන යන මේ නින්දිත මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව ඉදිරියේදී මීට වඩා දැවැන්ත අරගලයක් කරනවා. අපි ජනතාවත් එක්කයි මේ දේ කරන්නේ. රටේ ජනතාවට කන්න නැහැ. එළවළු මිල අහස උසට නැඟලා. බදු පිට බදු ගහනවා. විශ්වවිද්‍යාලවල පහසුකම් නැහැ. මෙන්න මේවට හඬ නඟන කොට අපට පන්න පන්නා ගහනවා. සහෝදරවරුන් රැසකගේ ඔලු පලලා. මෙන්න මේ නිසා අපි මානව හිමිකම් කොමිසමට ගිහින් පැමිණිලි කළා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment