ගෙවූ මුදලට පොහොර නැතැයි  නාන්නේරිය ගොවියෝ  ගොවිජන කාර්යාලය වටලති – නිලධාරින් වැඩි මිලට පොහොර විකුණා ඇතැයි චෝදනා

104

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ගල්ගමුව මහ නාන්නේරිය ජලාශයෙන් වී ගොවිතැන් සිදු කරන ගොවීන් අද මහ නාන්නේරිය ගොවිජන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවීය. ඒ ඔවුන් පොහොර ලබා ගැනීමට ගෙවූ මුදලට වඩා අඩු ප්‍රමාණයක් පොහොර ලබා දීමට ගොවිජන සේවා නිලධාරීන් කටයුතු කිරීම හේතුවෙන්ය. පොහොර කිලෝ 20 ක් සඳහා ඔවුන් මුදල් ගෙවුවද ඔවුනට කිලෝ 10 ක් පමණක් ලබා දීමට නිලධාරීන් කටයුතු කරන බවත් එයට හේතුව විමසූ විට ඔවුන් කිසිවක් ප්‍රකාශ නොකර බවත් ගොවීන් සඳහන් කලේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ගොවීන් චෝදනා කරන්නේ වී ගොවීන්ට ලබා දීමට එවා තිබූ පොහොර වට්ටක්කා ගොවීන් සඳහා හොර රහසේ වැඩි මිලට නිලධාරීන් අලෙවි කිරීම නිසා ඔවුනට මෙලෙස පොහොර අඩුවෙන් ලබා දීමට මෙම නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි. ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමුකොට මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ඔවුනට සාධාරණයක් ඉටුකරන මෙන් ඉල්ලා සිටී.

මේ පිළිබඳ මහ නාන්නේරිය ගොවිජන සේවා ප්‍රාදේශීය කාර්යාලයෙන් විමසීමේදී එහි සිටි නිලධාරියෙකු සඳහන් කලේ පොහොර සම්බන්ධව කටයුතු කරන සංවර්ධන නිලධාරිවරයා අද දින නිවාඩු බැවින් ඔවුනට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

කුමා රණසිංහ – ගල්ගමුව
 

advertistmentadvertistment
advertistmentadvertistment