පරාක්‍රම සමුද්‍රයේ සංචාරක බෝට්ටු ව්‍යාපෘතියක් දාන්න යනවා

129

අපේ ඇස් වසා කරන විනාශයක් – ගොවීහු චෝදනා කරති

පොළොන්නරුවෙ ගොවීන්ගේ ඇස් වසා හොර රහසේ සංචාරක බෝට්ටුව ව්‍යාපෘතියක් පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමේ හෙළිදරව්වක් ඊයේ (27දා) දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හමුවේදී ගොවීහු අනාවරණය කළහ.

පරාක්‍රම සමුද්‍රයේ සංචාරක බෝට්ටු ව්‍යාපෘතියක් දාන්න යනවා

ගොවි ජනතාවගේ හදවත බදු යැයි කියන පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ මේ වන විට සංචාරක බෝට්ටු ව්‍යාප්තියක් ක්‍රියාත්මක කිරීමට යන බවත් ඒ පිළිබඳ ගොවීන් නොදන්නා බවත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව තම ගොවි සංවිධානය දැඩිව කටයුතු කරන බවත් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ඊයේ (27දා) පොළොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හමුවේදී අනාවරණය කළේය.

විදෙස් සංචාරකයින් පොළොන්නරුවේ රඳවා ගැනීමේ අරමුණින් මෙම බෝට්ටු සවාරිය පරාක්‍රම සමුද්‍රයේ නාන තොටුපොලේ සිට සීත මාලිගය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පාරිසරික අංශයේ අනුමැතියද ලැබී ඇති බවට තමන්ට විශ්වාසනීය ආරංචි මාර්ගවලින් ලැබී ඇතැයි සභාපතිවරයා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හමුවේදී හෙළි කළේය.

දැනටමත් පරාක්‍රම සමුද්‍රයේ පරිසරය අවට කැලි කසල සහ අරක්කු බෝතල්වලින් පිරී ඇති බවත් එයද ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇති අතර මෙම ව්‍යාපෘතිය මගින් ජල දූෂණය සිදුවීමට ඉඩ ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. පරිසරයට හානි වන පරිදි දේශපාලන තීන්දු වලට එකඟ වන රාජ්‍ය නිලධාරීන්ද මීට වගකිය යුතු බව මෙහිදී සභාපතිවරයා වැඩිදුරටත් චෝදනා කරමින් පැවසුවේය. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුදන්ත ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදී මෙම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වීම පැවැත්විණි.

කරුණාරත්න ගමගේ සහ රොෂාන් තුෂාර තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment