ඉන්දියාවේ මන්ජී ට ජාතික සම්මාන ලැබුනට බරවකුඹුකේ සියදෝරිස්ට සම්මාන නෑ

2543

තනියම ඇළක් කපා ගමකට වතුර දුන් මිනිසෙක්

1983 දී මුලින්ම රටට කීවෙත් ඉරිදා දිවයින සංග්‍රහයෙන්

10 වසරේ සිංහල පාසල් පෙළ පොතටත් ගිය දිරිය මිනිසෙක්කපන ලද ඇළ අදටත් එහෙමයි…

ජලය නොමැතිව වියළී ගිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මානයකට කි. මී. තුනක් දිග ඇළක් තනිවම කපා ජලය ලබා දී ඒ ගම සරුසාර කළ අප්‍රතිහත දිරියකින් යුත් එක්තරා යුග පුරුෂයෙක් බරවකුඹුක ප්‍රදේශයේ ජීවිතයේ සැන්දෑ කාලය ගෙවමින් සිටී. මෙතෙක් ඔහු කිසිදු ඇගයීමකට ලක්වී නැත. ඉන්දියාවේද “දශරත් මන්ජි” නමින් මෙවැනිම ඉතිහාසගත කාර්යයක යෙදිණි. ඔහු ඉන්දියාවේ ඉහළම සම්මානයට පාත්‍ර විය.

මේ ඒ කතා ද්විත්වයයි.

“දශරත් මන්ජි” ගෙහෙලෝර් ගමේ හිටපු හීන කුලේ දර කපන්නෙකි. මන්ජි තමාගේ සිත් ගත් තරුණියක වන පගුනියා සමග විවාහපත් වේ. රූමත් පගුනියාට කරදර කරන්නට පැමිණෙන කුලවතුන් හා දබර කරගන්නට ගොස් මන්ජිට අනේකවිධ පහරකෑම් වලට ලක්වන්නට ද සිදුවේ.

ගෙහෙලෝර් ගමේ සිට නගරයට කෙළින් දුර ඇත්තේ කිලෝ මීටර පහක් පමණ වන නමුත් මේ ගම වටකර ඇති යෝධ හෙලක් වැනි කන්දක් හේතු කරගෙන නගරයට යෑමට ගම්වාසීන්ට කිලෝ මීටර පනස් පහකට වඩා ගමන් කිරීමට සිදුවේ. හරි හැටි පාරක් නොමැතිකම නිසා එසේ යන්නේද පයිනි.

නගරයට යෑමට මොවුන්ට දින දෙකකට වඩා ගතවේ. කන්ද කපා පාරක් තනා දීමට දේශපාලකයන් උනන්දුවක් නොදැක්වූයේ ගමේ සිටියේ දුගී කුලහීන ජනයා නිසාය.

● මන්ජිගේ හා පගුනියාගේ අවාසනාව

මන්ජී කුලී රැකියාව කරන තැනට පගුනියා දිනපතා ආහාර සහ ජලය රැගෙන ගියාය. දිනක් ආහාර සහ ජල බඳුනක් හිස මත තබාගෙන මන්ජී වෙත ගමන් කරමින් සිටි පගුනියා අවාසනාවන්ත ලෙස පය ලිස්සා ඇද වැටුණාය. ඒ වනවිට ගැබ්ගෙන සිටි ඇය තම දරුවා බිහිකරන්නට ආසන්නව සිටීම නිසා තත්ත්වය අයපත් වීය. දිග දණ්ඩක රෙද්දක් ගැටගසා ඒ මත ලේ ගලන පගුනියා හොවා තම මිතුරෙකුද සමඟ දින දෙකක ගමනකින් පසු නගරයේ රෝහලට පගුනියා ඇතුළත් කරන ලදී.

එහිදී මන්ජීට දියණියක ලබාදී පගුනියා මෙලොවින් සමුගත්තාය. කල් වේලා ඇතිව රෝගියා රෝහල්ගත කළේ නම් ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබූ බව වෛද්‍යවරුන් පැවසීමත් සමඟ මන්ජීගේ ජීවිතය කඩා වැටුණා සේ ඔහුට දැනුනි.

ගම වටකර ඇති යෝධ කන්ද නොතිබෙන්නට මන්ජිට පගුනියා ඉක්මනින් රෝහල කරා ගෙන යෑමට හැකියාව තිබිණි. කන්ද සමග මන්ජිට ඉපදුනේ වෛරයකි.

පසුදින තමාගේ එළුවන් තිදෙනා විකුණා එම මුදලින් ගල් කටුවකුත් මිටියකුත් මිලදී ගත් ඔහු කන්දේ පැත්තක සිට එහි වූ ගල් කඩා පෙරළා දමන්නට විය. ඔහුගේ මිතුරෝ පවා බිරිඳ මියගිය නිසා මොහු උමතුව හැසිරෙතැයි කීහ. සතියේ දින පහම අවුරුද්දේ දින තුන්සිය හැට පහේම, තුන්සිය හැට හයේම මන්ජි නොනවත්වා මෙම කටයුත්තේ යෙදුනේය.

● මන්ජිගේ ජයග්‍රහණය

අවුරුදු 22 කට පසු මන්ජී තම අරමුණ ජයගන්නා බව වැටහුණ ගමේ අය මන්ජීගේ උදව්වට පැමිණියහ. මීටර් දහයක් පළල මීටර් 400 ක් දිග පාරක් කන්ද හරහා ඉදිවිය. කිලෝමීටර් පනස් හතරක් ගෙවා නගරයට යන දුර කිලෝ මීටර් හය දක්වා අඩු විය. මෙම ඇදහිය නොහැකි කතාන්දරය පුවත්පත් හරහා ඉන්දියාව පුරා පැතිර ගියේය. පද්මශ්‍රී සම්මානයට මන්ජිගේ නම යෝජනා විය. මධ්‍යම රජය එම පාර ප්‍රතිසංස්කරණය කොට තාර දමා එම පාරේ මගී බස්රථ පවා ධාවනය කරන්නට සැලැස්වීය. 2006 සිට පිත්තාශයේ පිළිකාවක් හේතුවෙන් පීඩා වින්ද ඔහුගේ සියලුම වියදම් රජයෙන් ලබා දුන්නේය. ඔහුට ජීවත්වීමට රජයෙන් ආධාරයක්ද සපයන ලදී.

2007 අගෝස්තු 17 වන දින,, වයස අවුරුදු 73 දී, මන්ජි සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේදී (AIIMS) මිය ගියේය. රාජ්‍ය ගෞරව සහිතව ඔහුගේ අවසන් කටයුතු සිදු කරන ලදී. දරුවන්ගේ මනස උත්තේජනය වන වීර ක්‍රියාවක් බඳු මෙම කතා පුවත ඉන්දියාවේ පාසල් පෙළපොතට ඇතුළත් කරන ලදී. 2011 දී ඔහු තැනූ පාර “දර්ශත් මන්ජී මාවත” යනුවෙන් ඉන්දීය මධ්‍යම රජයෙන් නම් කරන ලදී.

ලෝකයේ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වන “මන්ජී ද මවුන්ටන් මෑන්” (Manjhi The Mountain Man) ඔහුගේ සත්‍ය ජීවිත කතාව නිරූපණය කරමින් 2015 දී ලෝකප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන කෙතාන් මේතා (Ketan Mehta) විසින් අධ්‍යක්ෂණය කොට ඉදිරිපත් කරන ලදී. ලෝකයේ දශලක්ෂ ගණන් ජනයා චිත්‍රපටය හරහා මන්ජිව හඳුනා ගත්තේය.

● බරවකුඹුකේ සියදෝරිස්

1983 දී හම්බන්තොට බරකුඹුක ප්‍රදේශයෙන් මීට බොහෝ සෙයින් සමාන පුවතක් වාර්තා විය. ඒ හම්බන්තොට ප්‍රදේශයේ සේවය කළ දෙනගම සිරිවර්ධන නම් ගුරු මහතෙක් ‘ඉරිදා දිවයින සංග්‍රහය’ට පුවත්පතට සැපැයූ විශේෂාංග ලිපියක් මගිනි. කතාව සැකැවින් මෙසේය.

හක්මන වේපතඉර ප්‍රදේශයේ ජීවත්වූ සියදෝරිස් මාමාගේ පවුලේ අම්මා තාත්තා ඇතුළු අට දෙනෙකි. මේ සියලු දෙනාට ජීවත්වීමට තිබුණේ අක්කර කාලක පමණ කුඩා බිම්කඩකි. මේ වනවිට සියදෝරිස් මාමා විවාහකයෙකි. ඉඩම් කච්චේරියෙන් වගාවන් සඳහා ඉඩම් ලබාදෙන බව ආරංචි වූ ඔහු මේ ගැන විපරම් කිරීමට එහි ගියේය. ඔහුට හම්බන්තොට බරවකුඹුක ප්‍රදේශයෙන් කුඹුරු අක්කර තුනක් සහ ගොඩ ඉඩම් අක්කර දෙකක් ලැබුණි. ඔහුගේ ඉහේ පමණක් නොව මුළු සර්වාංගයේම මල් පිපුණා වැනි හැඟීමක් ඔහුට දැනිණ. එම ඉඩම්වලට චන්ද්‍රිකා වැවේ ජලයෙන් පෝෂණය වන රොට වැවෙන් ජලය ලබාදෙන බවද කීම ඔහුගේ සතුට තවත් වැඩිවීමට හේතුවක් විය. “ඉඩමයි වතුරයි තියෙනවනම් මොනවද කරන්න බැරි”. සියදෝරිස් මාමා පොඩි දරුවෙකු මෙන් උඩ පැන්නේය.

නියමිත දිනට ඔහු ඉඩමට ගිය අතර ඉඩම් කච්චේරියේ මහතා සහ මිනින්දෝරු මහතා පැමිණ සියදෝරිස් මාමාට අයිති වපසරිය වෙන්කොට දුන්නේය. සියදෝරිස් මාමාගේ බිරිඳ හීන් නැන්දා සමඟ එක්ව එහි කුඩා පැලක් තනාගත් සියදෝරිස් මාමා ඊළඟට ඉඩමේ කටුමැටි නිවසක් තනා ගත්තේය. සියදෝරිස් මාමා වැනි තවත් පවුල් හතළිහක් පමණ ඉඩම් ලැබී එහි පදිංචියට පැමිණ සිටියහ. ඉඩමට වතුර සැපයීමට නියමිත රොට වැවේ සොරොව්ව තිබුණේ ඉඩමට පහළිනි. එබැවින් මෙම ඉඩම්වලට වතුර සැපයුනේ නැත. වර්ෂාපතනය අඩු හම්බන්තොට දිස්ත්‍රික්කයේ අහස් දියෙන් කරන හේන් වගාවක් හැරෙන්නට වෙනත් යමක් කරන්නට ඔවුන්ට හැකිවුණේ නැත. හේන් වගා කරන්නට ලැබුණේ සුළු වශයෙනි. මෙම ඉඩම් ලාභීන්ගේ බොහෝ දින ගෙවුණේ තැන තැන කුලී වැඩ කිරීමෙනි.

මේ සම්බන්ධව පැමිණිලි කිරීමට සියදෝරිස් මාමා වතාවන් ගණනාවක් විවිධ ආයතනවලට ගියේය. ඒ අනුව ඉංජිනේරු මහත්වරු ගමට පැමිණියහ. සමහර ඉංජිනේරුවෝ සියදෝරිස්ට බැණ වැදුන අවස්ථාද විය.

“තමුසෙලට පිස්සුද අයිසේ පහළින් යන ඇළකින් උඩට වතුර ගන්න?. මෝඩ වැඩ නොකර තියෙන වැඩක් බලාගෙන ඉන්නවා. ඉංජිනේරුවෝ කීහ.

මෙහෙම ගියොත් අපිට පිස්සු හැදෙයි, සියදෝරිස් මාමා තමාටම කියා ගත්තේය.

දිනක් සියදෝරිස් මාමා තම උදැල්ල කර තබාගෙන වැව් කණ්ඩිය දිගේ ඇවිදගෙන යන්නට විය. වැව් කණ්ඩියේ එක්තරා ස්ථානයකට තමන්ගේ ඉඩමත් නිවසත් පැහැදිලිව පෙනේ. වැවේ වතුර මට්ටමට පහළින් තම ඉඩම පිහිටා ඇති බව මාමාට පෙනී

ගියේය. ඒ කියන්නේ වැවේ උඩ මට්ටමෙන් වතුර ගත්තොත් අපේ ඉඩම් වලට දෙන්න පුළුවන්. සොරොව්ව තියෙන්නේ පහතම මට්ටමේ වුණාට වැවේ වතුර මට්ටම තියෙන්නේ ඉඩමට උඩින්. මාමා ඔළුව කසමින් වැව් බැම්මේ ඉඳ ගත්තේය. ඒ කියන්නේ බැම්ම හරහා හිලක් විද්දොත් ඉඩමට වතුර ගත්තෑකි.

සියදෝරිස් මාමා නැගිට වැව බැම්ම දිගේ තවත් ඉදිරියට ගියේය. ඔහු වැවේ වැඩි වතුර ඉවත් වන පිටවාන වෙත ආවේය. අවුරුද්ද පුරාම පිටවානෙහි ජලයෙන් පිරී ඇති හැටි ඔහුගේ මතකයට ආවේය. සමහර කාලවලදී පිටවානේ ජලය ඇලක් මගින් සොරොව්වේ ජලය ගෙනයන ඇළට එකතු වෙනවා මාමා දැක තිබේ.

ඒ කියන්නේ මේ වතුර තියෙන්නේ මගේ ඉඩමට උඩින්. යට තියෙන වතුරනේ ගන්න බැරි. උඩ තියෙන වතුර ඉඩමට ගෙනියන්න ඇහැකිනේ. සියදෝරිස් මාමාට ඇතිවුණ සතුට විග්‍රහ කිරීම අමාරුය. තමා සිතු දේ හරිදැයි සැක හැර දැනගැනීමට තුන්වන ශ්‍රේණියට පමණක් ඉගෙන ගත් මාමා විශේෂ මිනින්දෝරු ක්‍රමයක් භාවිත කළේය. වැවේ පිටවානට වඩා පහත් ස්ථානයක් ඉඩම දෙසට ලකුණු කොට ඒ ස්ථානයට වඩා පහත ස්ථානයක් එතැන් සිට ඉඩම දෙසට සලකුණු කළේය. මෙසේ කරද්දී ඉතා උස් තැන් සහ ඉතා පහත් තැන් මග හරිමින් තම ඉඩම දක්වාම මේ කටයුත්ත කළේය. හැතැප්ම දෙකක් (කි.මී. 3 කට මඳක් වැඩි) පමණ දිග මාර්ගයකින් තම ඉඩමට ජලය ගෙනයා හැකි බව මාමා ප්‍රත්‍යක්ෂ කර ගත්තේය.

රාත්‍රියේ මාමා මෙය නැන්දා සමඟ කතා කළේය.

“ඕක ඉතින් තනියෙන් කොරන්න ඇහැක්

වැඩක්ය” ? නැන්දා ඇසුවාය.

“නෑ! නෑ!!…. මේ ගමේ කට්ටියත් එකතු කරගෙන තමා ඕක කරන්නේ” මාමා පිළිතුරු දුන්නේය.

“ඕකුන් ඔක්කොම කුලී වැඩට යනව. උන් එන්නෙ නෑ ඕවට ඔන්න බලන්න”.

“එහෙම වුණොත් මම තනියෙන් හරි කපනවා” මාමා දැඩි අධිෂ්ඨානයෙන් කීවේය.

කළ නොහැක්කක් නොමැත නැන්දා කිවූ ලෙසටම ගමේ කිසිවෙක් ඇළ කැපීමට මාමාගේ උදව්වට පැමිණියේ නැත. ඔවුන් කීවේ මෙය පිස්සු වැඩක් බවයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලත් ඉංජිනේරුවන් පවා ප්‍රතික්ෂේප කරන යමක් කරන්නට යන්නේ මෝඩ කමටදැයි සමහරක් ගැමියෝ ඇසූහ.

“අනෙක උඹ ඔය ඇළක් කපන්න යන්නෙ වැවේ රිසවේසන් ඉඩම්වල. ඕවට එකතු වෙලා අපිට හිරේ යන්න බෑ” බොහෝ දෙනෙක් පැවසූහ.

පසුදිනම සියදෝරිස් මාමා තනිවම ඇළ කපන්නට පටන් ගත්තේය. ඒ අසලින් ගිය ගමේ සමහරක් කුලී ඉංජිනේරුවා යැයි සියදෝරිස් මාමාට උසුළු කරමින් හූ කීවේය. සියදෝරිස් මාමා නෑසුන කනින් තම කටයුත්ත දිගටම කළේය. හීන් නැන්දා අල්ලපු ගමේ පෝසත් නිවෙසක් වන අබේසේකර මහතාගේ නිවසේ මෙහෙකාර කමට ගොස් උපයන දෙයින් සියදෝරිස් මාමාගේ ආහාර පාන සැපයුවේය. හිරුටත් කලින් ඇළ කපන්නට යන මාමා නැවත ගෙදර එන්නේ හිරු බැස ගියාට පසුවය. දින සති මාස ගණන් ගතවිය. අධික වෙහෙස නිසා වැහැරී ගිය සියදෝරිස් මාමාගේ සිරුර දුටු හීන් නැන්දාගේ දෙනෙතට කඳුළු ආවේය.

මාස ගණනකට පසු ජයග්‍රාහී දිනය එළඹියේය. ඇළ කපන මාර්ගය අසලින් කුලී වැඩට යන ගමේ මිනිසුන් නතර කළ සියදෝරිස් මාමා “ බොලා අද වැඩට නොගිහින් වරෙල්ල අපේ ඉඩම්වලට වතුර එන හැටි බලන්න” කීවේ අභිමානයෙනි.

● සියදෝරිස්ගේ ජයග්‍රහණය

සියදෝරිස් මාමා කැපූ ඇළ හා පිටවාන සම්බන්ධ කෙරෙන අවසාන පස් පිඩේලි කිහිපය කැපුවේය. පිටවානේ ජලය සියදෝරිස් ඇළ දිගේ විටෙක හෙමින් විටෙක නවතිමින් නැවත යමින් විටෙක වේගයෙන් ගමන් කොට වතුර නැති ගමේ කාෂ්ඨක පොළොව තෙමන්නට විය. “සියදෝරිස් අයියා දිනුවා සියදෝරිස් මාමා දිනුවා මල්ලි උඹ දිනුවා” ගමේ මිනිසුන් ජල පහර මත උඩ පනිමින් කෑගසන්නට විය. හීන් නැන්දාගේ හිනාව, ඇයට විනාඩි කිහිපයක්ම කට වසා ගැනීමට නොහැකි කළේය. “මම නෙවෙයි බොලව් අපි ඔක්කොම දිනුවා”. සියදෝරිස් මාමා ගැඹුරු හඬින් කීවේය. “මීට පස්සේ අපි කුලී වැඩට යන්න ඕනේ නැහැ. අපේ ඉඩම් ටිකයි කුඹුරු ටිකයි අස්වද්දමු”.

ඊළඟ කන්නයේ දකුණු පළාතේ වැඩිම වී අස්වැන්න ලැබුණේ සියදෝරිස් මාමාගේ ගමෙනි. ඉංජිනේරුවන්ට කළ නොහැකි දේ සියදෝරිස් මාමා කිරීම ගැන ඉංජිනේරුවෝ සිටියේ තරහෙනි. සියදෝරිස්ට විරුද්ධව නොයෙකුත් චෝදනා නැගෙන්නට විය.

මහවැලි ව්‍යාපාරයට අයත් ඉඩමක අනවසරයෙන් ඇළක් කැපීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපද නිලධාරී ගාමිණි පුංචිහේවා ට උපදෙස් ලැබිණි. සියදෝරිස් මාමා කැපූ ඇළ නිරීක්ෂණය කළ පුංචිහේවා මහතා සියදෝරිස් මාමා හමුව ඔහුගේ දෑත සිඹ “සියදෝරිස් අයියා, අයියට රන් පවුම් දෙන්න ඕන වැඩක් කරල තියෙන්නෙ. අයිය අනවසර වැඩක් කළා කියල අයියට කිසිම කරදරයක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ”. කියමින් සියදෝරිස් මාමා බදා ගත්තේය. සියදෝරිස් අයියාගේ ඇසකින් වැටුණ කඳුළු බින්දුවක් පුංචිහේවා මහතාගේ කමිසය මතට වැටිණ.

● රටවල් දෙකක වෙනස

දැනට 92 හැවිරිදි වියේ පසුවන සියදෝරිස් මාමාගේ ක්‍රියාව අගයන්නට රජයේ ඉහළ පෙළේ නායකයෙක් නොව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් ඉදිරිපත් වුණේ නැත. අසනීපයෙන් පසුවන මාමාගේ බේත් හේත් ඇතුළු සියලු වියදම් දරන්නේ ඔහුගේ දරුවන් සහ ලේලියන්ය.

සියදෝරිස් මාමා කැපූ ඇළ අද ද එදා මාමා කැපූ අයුරින්ම පවතී. රටට අහර දුන්නද ඒවා බලන්නට කෙනෙක් නැත.

දරුවන්ගේ මනස උත්තේජනය වන වීර ක්‍රියාවක් බඳු මෙම කතා පුවත 10 වසරේ සිංහල පාසල් පෙළපොතට ඇතුළත් කරන ලදී. එවකට සිටි අධ්‍යාපන බලධාරීන් මෙන්ම දශකයකට වඩා වැඩි කාලයක් තිස්සේ එය පවත්වාගෙන යන අධ්‍යාපන නිලධාරීන්ගේ උතුම් ක්‍රියාව අගය කළ යුතුය.

මෙම ඇළ සියදෝරිස් ව්‍යාපාරය නමින් ගම්මුන් එකතුව නම් කරන ලදී. ‘ සියදෝරිස් ව්‍යාපාරය‘ වේදිකා ගතවේ සියදෝරිස් ව්‍යාපාරය නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කළ ප්‍රවීණ රංගධර ජගත් මුතුකුමාරණ මහතා මහරගම පැවති එහි මංගල දර්ශනයට සියදෝරිස් මාමාද කැඳවාගෙන ආවේය. ශාලාව ඉඩ මදිවී අමතර ආසන ගෙන්වා තැන තැන තබන්නට සිදු විය. සියදෝරිස් මාමා ශාලාවට කැඳවා ගෙන එද්දී නරඹන්නෝ සිය අසුන්වලින් නැගිට අත්පොලසන් නගමින් ඔහුට ආචාර කළහ. නාට්‍ය දර්ශනය අවසානයේ සියදෝරිස් මාමා වේදිකාවට ගොඩවෙද්දී නිවේදකයා කිවූ කිසිවක් ඇසුණේ නැත්තේ ටකරන් වහලයකට අයිස් වැස්සක් වසින්නාක් මෙන් හඬ නැගුණ නරඹන්නන්ගේ දැවැන්ත අත්පොලසන් නාදය නිසාය.

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment