නංගීගේ සාරි තොටිල්ල අයියාට මරු කැඳවයි

536

ඔංචිලි පදිද්දී ගෙල සිරවී මියගිහින්

තොටිල්ලක ගෙල සිරවීමෙන් පාසල් සිසුවකු ජිවිතක්ෂයට පත්වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

මෙසේ ගෙල සිරවීමෙන් ජිවිතක්ෂයට පත්වී ඇත්තේ නාවලපිටිය,

වැලිගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි කරුපයියා සෙල්වම් නමැති නව හැවිරිදි පාසල් සිසුවෙකි.

ජිවිතක්ෂයට පත් සිසුවා එම වත්තේ පිහිටි මොන්ටික්‍රිස්ටෝ අංක 01 පාසලේ පහ වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු බව පොලිසිය කියයි.

මියගිය සිසුවාගේ මව ගෘහ සේවය සඳහා විදේශ ගතවී ඇත. නිවසේ නිදන කාමරයේ මියගිය සිසුවාගේ අවු. තුනහමාරක් වයසැති බාල සොහොයුරිය නිදි කරවීම සඳහා සාරියකින් බැඳ තිබූ තොටිල්ලක ඔංචිලි පදිමින් සිටියදී පාසල් සිසුවාගේ ගෙල තොටිල්ලේ සිරවී ජිවිතක්ෂයට පත්ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකළ නාවලපිටිය පොලිසිය මෙසේ තොරතුරු අනාවරණය කරගෙන ඇත.

සිසුවා තොටිල්ලේ ඔංචිලි පදින අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැත. අසල්වාසියෙකු විසින් සිසුවාගේ ගෙල තොටිල්ලේ සිරවී සිටින අයුරු දැක ඒ පිළිබඳව අසල්වාසීන්ව දැනුවත් කර ඔහුව තොටිල්ලෙන් මුදාගත් අවස්ථාවේදීත් සිසුවා ජීවිතක්‍ෂයට පත්ව සිටි බව නාවලපිටිය පොලිසිය කියයි.

මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.
නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment