දවස් විස්සට සංචාරකයන් පනස්දහසක්

699

ඩේලිමේල් පුවත්පතට ලිපියක් ලියමින් මේරි වේල්ස් සඳහන් කරන්නේ මම කවදත් ආදරය කරන රටක් වන ශ්‍රී ලංකාවේ සති දෙකක් ගත කළ අතර, මා සොයා ගත් දෙයින් මවිත විය. එක් සංචාරක ප්‍රධානියෙක් පැවසූ පරිදි: මිත්‍රශීලීභාවය සහ යහපත් ස්වභාවය තුළින් විප්ලවීය කෝපය සමඟ කටයුතු කරන ලෝකයේ එකම රට මෙයයි. ඉන්දියාව හා සසඳන විට ලංකාවට පැමිණීම නිසැකවම පහසුය.

සංචාරක කර්මාන්තය යනු මෙරටට විදේශ විනිමය ඉපයීමේ ඉහළින්ම සිටින ප්‍රධානතම කර්මාන්තයකි. කෙසේ වෙතත් 2019 වසරේ එල්ලවුණු පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දැඩි කඩාවැටීමට ලක් වූ මෙරට සංචාරක කර්මාන්තය කොරෝනා වසංගතය හරහා තවදුරටත් දරුණු පසුබෑමකට ලක්විය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත වලට අනුව 2019 වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,913,702 ක් වන අතර එය 2021 වසර අවසාන විට 194,495 ක් දක්වා පහත බැස තිබුණි. 2019 වසරේ පමණක් ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය හරහා ඉපැයූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 3606.9කි. ‘ලෝන්ලි ප්ලැනට්‘ (Lonely Planet) විසින් 2019 වසරේ සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබිණි. නමුත් මේ සියල්ල සහරාන්ගේ ප්‍රහාරය නිසා වෙනස් විය. “නිමක් නොමැති වෙරළ, විශාල ඉතිහාසයක් පුරා දිවෙන නටබුන්, උණුසුම් පිළිගැනීම, විශාල අලි රංචු, දියමත ලිස්සා යන සර්ෆින් ක්‍රීඩාව, අඩු මිල ගණන්, විනෝදජනක දුම්රිය, ප්‍රසිද්ධ තේ සහ රසයෙන් අනූන කෑම වර්ග,” නිසා ශ්‍රී ලංකාව නොවැළැක්විය හැකි සංචාරක ආකර්ෂණයක් බව ‘ලෝන්ලි ප්ලැනට්’ හි එදා සටහන් කර තිබිණි. “ශ්‍රී ලංකාවේ මිශ්‍ර ආගම් සහ සංස්කෘති, පැරණි වෙහෙර විහාර, පහසුවෙන් ළඟා විය හැකි වනජීවී කලාප, වැඩි වෙමින් පවතින සර්ෆින් දර්ශන සහ දශක ගණනාවක සිවිල් ගැටුම්වලින් පසු ඒ කිසිත් නොතකා මිත්‍රත්වයෙන් සහ උණුසුම් අයුරින් පිළිගන්නා එහි වැසියන් මේ වනවිටත් නිර්භීත සංචාරකයන්ගේ සැලකිල්ලට භාජන වී තිබෙනවා. මෙය නැවත ප්‍රාණය ලැබූ රටක්,” යනුවෙන් ‘ලෝන්ලි ප්ලැනට්’ කර්තෘ ඊතන් ගෙල්බර් 2019 වසර සඳහා වන ප්‍රකාශනයේ දක්වා තිබිණි. ‘ලෝන්ලි ප්ලැනට්‘ යනු සංචාරක මාර්ගෝපදේශ පොත් ප්‍රකාශන ආයතනයකි. එය ලොව ජනප්‍රියතම සංචාරක මග පෙන්වීම් ප්‍රකාශකයා ලෙස සැලකේ.

හිටපු මුදල් ඇමති වූ අලි සබ්රි පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය මෙන්ම කොරෝනා හේතුවෙන් පසුගිය වසර තුනක කාලය තුළදී සංචාරක කර්මාන්තය මගින් රටට ලැබිය යුතු ඇමරිකානු ඩොලර් බිලියන 10ක පමණ මුදලක් අහිමි වී ගොස් ඇති බවයි. ඊනියා අරගලය මතු වීමට පෙර දිනකට විදේශ සංචාරකයන් 3800ක් පමණ පැමිණ තිබූ අතර පසුව එම පිරිස බෙහෙවින් අඩුවිය. මේ වසරේ මාර්තු මාසයේ දී විදේශිකයින් 106,500ක් ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර, පළමු මාස තුන තුළ සංචාරකයන් 285,334ක් මෙරටට පැමිණ ඇති බවට සංචාරක මණ්ඩලයේ දත්ත පෙන්නුම් කරයි. නමුත් එය වෙනස් වූයේ අරගලය නිසාය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ඇත්තේ අඩු තරගකාරීත්වයකි. ශ්‍රී ලංකාව දූපතක් වීම, කේන්ද්‍රීය ස්ථානයක පිහිටීම, වෙනස් වෙනස් දේශගුණික තත්ත්ව හා සුන්දර ස්ථානයන්ට කෙටි කාලය තුළ ළඟා විය හැකි වීම, ප්‍රිය මනාප සංග්‍රහශීලී ජනතාවක් සිටීම, පිරිසුදු රටක් වීම, පරිසර හිතකාමී සේවාවන් පැවතීම නිසා මෙරට සංචාරක ව්‍යාපාරයට වෙනස් අනන්‍යතාවක් ඇත. විවිධත්වයකින් යුත් මෙම අනන්‍යතාවට සංස්කෘතියෙන් විශාල පිටුබලයක් ලැබී තිබේ. ඒ නිසා කුමන බාධක වරින් වර මතු වුවත් සංචාරක ව්‍යාපාරය අත්හල නොහැකි ආදායම් උල්පතකි. මෙරට සංචාරක ව්‍යාපාරය නිල වශයෙන් ස්ථාපිත වීම සිදු වූයේ 1967 වසරේදීය. ගත වූ කාලය තුළ මෙම ව්‍යාපාරයෙන් වැඩිම ආදායමක් ඉපැයූ වසර වන්නේ 2018 වසරයි. ලෝක ආර්ථිකයේ සම්පූර්ණ කොටස සියයක් නම් එයින් 10.4ක් සංචාරක කටයුතු බව දැක්වෙයි. ලෝකයේ රැකීරක්ෂාවලින් සියයට දහයකට වඩා ප්‍රමාණයක් සංචාරක කර්මාන්තයෙන් බිහිවී ඇත.

කෙසේ නමුත් සංචාරක අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව දෙසැම්බර් මාසයේ මුල් දින 20 තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරකයන් 50,000 කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති අතර එය පෙර මාසවලට සාපේක්ෂව සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කරයි. දෙසැම්බර් මාසයේ දෛනික පැමිණීමේ සාමාන්‍යය 2,500 ඉක්මවන අතර මේ වසරේ මුල් මාස 11 තුළ එම අගය 1,900 ක් පමණ වූ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියට අනුව දෙසැම්බර් 20 දක්වා වසරේ මුළු ජාත්‍යන්තර සංචාරක පැමිණීම් සංඛ්‍යාව 678,392 කි.

2021 වසරේ ජනවාරි මාසයේ දී ඉපයූ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 4කි. 2022 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 148ක සංචාරක ආදායමක් උපයා ඇතැයි මහ බැංකු සංඛ්‍යා දත්ත පෙන්නුම් කරයි. කොරෝනා වසංගතය සහ රටේ ආර්ථික හා දේශපාලන අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදේශ විනිමය උපයන්නන්ගෙන් එකක් වන සංචාරක ව්‍යාපාරය පසුබෑමකට ලක්ව තිබිණි. 2023 දී සංචාරකයන් මිලියන 1.5 ක් සහ 2024 දී සංචාරකයින් මිලියන 3 ක් පමණ ආකර්ෂණය කර ගැනීම ශ්‍රී ලංකාවේ ඉලක්කය බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

ඩේලිමේල් පුවත්පතට ලිපියක් ලියමින් මේරි වේල්ස් සඳහන් කරන්නේ මම කවදත් ආදරය කරන රටක් වන ශ්‍රී ලංකාවේ සති දෙකක් ගත කළ අතර, මා සොයා ගත් දෙයින් මවිත විය. එක් සංචාරක ප්‍රධානියෙක් පැවසූ පරිදි: මිත්‍රශීලීභාවය සහ යහපත් ස්වභාවය තුළින් විප්ලවීය කෝපය සමඟ කටයුතු කරන ලෝකයේ එකම රට මෙයයි. ඉන්දියාව හා සසඳන විට ලංකාවට පැමිණීම නිසැකවම පහසුය.

ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ශ්‍රී ලාංකිකයන්ට සෘජු හා වක්‍ර රැකියා අවස්ථාවන් ලබාදීමට දායකවෙයි. 2020 කොරෝනා වසංගතය පැමිණෙන තෙක්ම මෙම වෙළෙඳපොළ නොනැවතී වැඩෙමින් පැවතිණි. ඉහළම රැකියා ප්‍රමාණයක් ඇතිවූ 2019ට සාපේක්ෂව 2020 දී රැකියා නියුක්තිය 13%කින් කඩා වැටිණි. සංචාරක කර්මාන්තය පිළිබඳ මහ බැංකුවේ 2021 වර්ෂයේ වාර්තාවට අනුව, සංචාරක ව්‍යාපාරය 2014 සහ 2019 අතර සමයේ දී විදේශ මුදල් ඉපැයීමේ තෙවන විශාලතම මූලාශ්‍රය ලෙස පැවති අතර මෙම කාලය තුළ මුළු විදේශ මුදල් ඉපැයීම්වලින් 14%කට පමණ දායක වී ඇතිවා සේම, සෘජු හා වක්‍ර රැකියා ලක්ෂ 21ක් ඇතිකර තිබිණි. එසේම සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ජනතාවගේ පැත්තෙන්ද ඉටුවිය යුතු සේවයක් ඇත. උදාහරණයක් වශයෙන් මාලදිවයිනේ ජනතාව සංචාරකයන්ට විශේෂ සැලකිල්ලක් දක්වයි. දිවා ආහාරය සඳහා වූ ස්ථානවල ඉඩකඩ මුළුමනින්ම ඇහිරී තිබුණත් සංචාරකයන්ට ඉඩදීමට ඒ රටේ ජනතාව ඕනෑම මොහොතක සූදානම්ය. ඒ රට සියයට 60 කට වැඩි ආදායමක් ලබන්නේ සංචාරක කර්මාන්තයෙනි. මෙය ලංකාවට හොඳ ආදර්ශයකි. විදේශ සංචාරකයකු නිසි පිළිගැනීමක් නොවුවහොත් ඔවුන් තමන්ගේ රටට ගොස් ශ්‍රී ලංකාව ගැන යහපත් මතයක් ප්‍රකාශ කරන්නේ නැත. අපේ රටේ ජනතාව තුළ ඒ හැඟීම අඩුවීම බොහෝ විට දක්නට ලැබෙන වැරැද්දකි. මෙරටට පැමිණෙන සංචාරකයා රට ගැන සෑහීමකට පත්වන්නේ නම් ඔහු නැවත නැවත මෙරටට පැමිණෙනු ඇත. ඔහු මෙරටට දක්වන ප්‍රසාදය තවත් සංචාරකයකුට මෙහි පැමිණීමට දිරිමත් කිරීමක් වනු ඇත. ශ්‍රී ලංකාවේ රටේ පිහිටීම සංචාරක ව්‍යාපාරයට විශාල පිටිවහලක් වී ඇති අතර මේ අපූරු පිහිටීම වෙනත් රටවල් බොහොමයක නැත. ඇමෙරිකාව වැනි රටවලට යන සංචාරකයන්ට ඇතැම් ස්ථාන නැරැඹීමට පැය ගණන් ගත කරමින් ගුවනින් යෑමට පවා සිදුවන අවස්ථා ඇත. නැතහොත් විශාල කාලයක් වැය කරමින් පැය ගණනාවක් ගත කිරීමට සිදුවනු ඇත. සංචාරකයන්ට ඒ සඳහා අධික වියදමක් දැරීමටද සිදුවෙයි. නමුත් මේ රටේ පැය කිහිපයක ගමනින් ඉතාම සුන්දර අත්දැකීමක් ලබා ගත හැකිය. මේ රට ලොව පුරා ප්‍රචලිතව තිබෙන්නේ ආගන්තුක සත්කාරයෙන් අනූන යහපත් හා නිහතමානී මිනිසුන් සිටින රටක් ලෙසය. සිනාසෙන මිනිසුන් සිටින රටක් ලෙසය. මෙය ඉතා යහපත් පිළිගැනීමකි.

ලෝක සංචාරක සංවිධානය පවසන්නේ වාර්ෂිකව බැතිමතුන් දසලක්ෂ 350 – 600 අතර ප්‍රමාණයක් තම තමන්ගේ ආගමික ස්ථාන කරා වන්දනාවේ යෙදෙන බවයි. ආගමික සංචාර අතර ප්‍රධාන ස්ථානයක් ගන්නේ ඉස්ලාම් බැතිමතුනගේ හජ් වන්දනාවයි. උතුරු ඇමෙරිකානුවන්ගේ ආගමික සංචාරක ව්‍යාපාරයේ වාර්ෂික අංගය ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කැයි වාර්තා වේ. මැකා, මෙඩ්නා, ජෙරුසලම් වතිකානුව, ලුම්බිනිය සහ බුද්ධගයාව ලෝක ආගමික සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන පූජ්‍ය ස්ථානය. ආගමික සංචාරක කර්මාන්තයට මුල් තැන දෙන රටක් නම් ඉන්දියාවයි. රාමායන ස්ර්කිට්, ක්‍රිෂ්ණ සර්කිට් සහ බුද්ධ සර්කිට් යනුවෙන් ආගමික සංචාර කොටස් 3 කට බෙදා තිබේ. ලංකාවද මේ ආදර්ශ ගෙන විදෙස් බෞද්ධයන් මෙරටට ගෙන්වා ගැනීමට උනන්දු විය යුතුය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment