දළු නෙළා රන් දිනයි

166


හොරණ වැවිලි සමාගමට අයත්, ඕල්ටන් තේ වතුයායේ හොඳම තේ දළු නෙළන්නිය තරඟයෙන් ප්‍රථම ස්ථානයට පත් කම්කරු කාන්තාවට එම වැවිලි සමාගමේ කළමණාකාරිත්වය මගින් රුපියල් එක් ලක්ෂ හැත්තෑ අට දහස් පන්සීයයක් පමණ වටිණා රන් පවුමක් හා මුදලින් රුපියල් ලක්ෂයක් පිරිනැමීම පසුගියදා ඕල්ටන් තේ වතුයායේදී උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි.

ඕල්ටන් තේ වතුයායේ පදිංචි එම්.විග්නේෂ්වරී නැමති (34) හැවිරිදි වතු කම්කරු කාන්තාව හොඳම තේ දළු නෙළන්නිය ලෙස මෙසේ ඇගයීමට ලක් වූවාය.

නුවරඑළිය, රදැල්ල තේ වතුයායේදී හොරණ වැවිලි සමාගමට අයත් සාමිමලේ හා ලිඳුල ප්‍රදේශවල පිහිටි තේ වතු 08 ක් නියෝජනය කරමින් පසුගියදා පැවති හොඳම තේ දළු නෙළන්නිය තරඟයෙන් සාමිමලේ, ඕල්ටන් තේ වතුයායට ප්‍රථම ස්ථානයත්, දෙවන ස්ථානය සාමිමලේ, මහනිලු‍ තේ වතුයායේ ජී.පෙරියම්මාටත්, තෙවන ස්ථානය සාමිමලේ, ස්ටොක්හෝම් තේ වතුයායේ වී. ඉදයවානී යන අය විසින් ජයග්‍රහණය කරණ ලදී.

මෙහිදී දෙවන ස්ථානය ලබාගත් කම්කරු කාන්තාවට රන් පවුම් භාගයක් හා මුදලින් රුපියල් 75,000/- ක්ද, තෙවන ස්ථානයට පත් කම්කරු කාන්තාවට රන් පවුම් භාගයක් සමග රුපියල් 50,000/- ක් වශයෙන් මහනිලු‍ හා ස්ටොක්හෝම් යන තේවතු පාලනාධිකාරීන් මගින් පිරිණැමීම සිදු කළේය.

ප්‍රථම ස්ථානයට පත් ඕල්ටන් තේ වතුයායේ එම්.විග්නේෂ්වරි නැමති කම්කරු කාන්තාව රදැල්ල තේ වතුයායේදී පැවති තරඟයේදී විනාඩි 20 ක කාලයක් තුල අමු තේ දළු කිලෝ 09 ග්‍රෑම්ස් 600 ක් නෙළා ජයග්‍රහණය හිමිකර ගත් බවත්, වතු කම්කරු කාන්තාවන් දිරිමත් කිරීම සඳහා මෙම ඇගයීම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් ඕල්ටන් තේ වතුයායේ කළමණාකරු අනුෂ්ක වන්නිආරච්චි මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment