අරන්තලාවේ භික්‍ෂූන්ට අද දානෙවත් නෑ – ගම්පහ නාරද හිමි

318

ඛේදවාචකයට හෙටට වසර 36ක්

ලංකා ඉතිහාසයේ සිදුවුණු කුරිරුතම සංඝ සංහාරය වන අරන්තලා භික්‍ෂු ඝාතනයට හෙටට (02 දාට) වසර 36ක් පිරෙනවා. ඒත් අද අරන්තලා පිං බිමේ තත්ත්වය ගැන කියන්න කනගාටුයි. අද අපේ පුදබිමේ වැඩසිටින භික්‍ෂූන් වහන්සේලාට දානෙවත් නැහැ යැයි නැගෙනහිර සුරැකීමේ සංවිධානයේ සභාපති අම්පාර ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි ගම්පහ නාරද හිමියෝ පැවසූහ.

උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද කීහ.

එදා මෙම සාහසික අපරාධය වුණ සොහොන් බිම අද අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ලෙසින් ලොවටම ධර්මය බෙදන ධර්ම මධ්‍යස්ථානයක් බවට සාමනේර භික්‍ෂූන් වහන්සේලා සිප් සතර හදාරන පිරිවෙන් භූමියක් බවටත් පත් කරන්නට අපේ නායක හිමියන් වන කිරිඳිවැල සෝමරතන නාහිමියන්ට මහත් දුෂ්කරතා මැද හැකිව තිබෙනවා. අද මෙම පුද බිමේ හිමිවරුන් 30 දෙනකු වැඩසිටියත් ඔවුනට නිසි පරිදි දානයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැඩි අපහසුවෙන් දාන වේල විහාරස්ථානය තුළම සකසා ගන්නට සිදුව තිබෙනවා. ඒ සමගම මෙම පුදබිමේ ඉදිකරමින් තිබෙන භික්‍ෂු නේවාසිකාගාරයේ වැඩ අතරමග නතරවෙලා. මෙම ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් සහ දිගාමඩුල්ලේ වැඩවාසය කරන වයෝවෘද්ධ හිමිවරුන්ගේ පහසුව වෙනුවෙන් වැඩවාසය කිරීම සඳහා පසුගිය ආණ්ඩුව සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදල් මගින් ආරම්භ කර මෙම පුද බිමේ වැඩකටයුතු ඉදිකරන්නට පටන්ගත් භික්‍ෂු ගිලන් හලේද අද වැඩකටයුතු නැවතිලා. අපහසුවෙන් තමයි අපේ නායක හිමියන් මෙම පුදබිම රැකගැනීමට කටයුතු කරන්නේ. එම නිසා සුසාන භූමියේ ඉදිවුණ ලංකාවේ එකම පුදබිම පවත්වාගෙන යෑමට සහ දියුණු කිරීමට ඔබගේ සහය අවශ්‍යවෙලා තිබෙනවා. පවතින වසංගතය නිසා අපහසුතාවට පත්ව තිබෙන මොහොතක යම් තරමින් හෝ සහයක් දෙන්නට හැකි නම් 0718333322 යන දුරකථන අංකයෙන් අපගේ සෝමරතන නායක හිමියන් ඇමතිය හැකියි.

අරන්තලා 36 වන ගුණ සමරු වැඩසටහන වෙනුවෙන් ජුනි 01, 02 වන දිනවල විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. කුල දරුවන් සසුන්ගත කිරීම, යුගාසන කාව්‍ය ධර්ම දේශනාවන්, පහන් පූජාව සහ රටට ජනතාවට සෙත් පතා සිදු කරන පරිත්‍රාණ ධර්ම දේශනාව, කිරිපිඬු බුද්ධ පූජාව, මහ පිණ්ඩපාත චාරිකාව, රුක් රෝපණ වැඩසටහන, භික්‍ෂු ස්මාරකය අභියස අධිෂ්ඨාන පූජාව, භාවනා කුටි 31ක් ඉදිකිරීමට මුල්ගල තැබීම, භික්‍ෂූන් වහන්සේලා 250ක් උදෙසා සිදු කරනු ලබන සංඝගත දක්‍ෂිණාව, ඇතුළු වැඩසටහන් රැසක් සිදුකිරීමට නියමිතය.
සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment