අගමැති නිවසට ගිනි තැබීම පිටුපස  සැඟවුණු බලවේග ඇත්දැයි සොයන්න – මාධ්‍ය පිරිසකට පහරදීම අගමැති නිවසට ගිනි තැබීම ම්ලේච්ඡ සිදුවීම් දෙකක්

221

 – හිටපු කථානායක කරු ජයසූරිය

 ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ නිදහස උදෙසා දැවැන්ත අරගලයක් අතරතුර මාධ්‍ය කණ්ඩායමකට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් සිදුකළ ප්‍රහාරය හා අගමැති නිවසට ගිනි තැබීම තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා නිකුත්කර ඇති නිවේදනයක දැක්වේ.

 අගමැති පෞද්ගලික නිවෙසට ගිනි තැබීම පිටුපස සැඟවුණු බලවේග ඇත්දැයි සොයා බැලීම වැදගත් බව ද එහි දැක්වේ.

 ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

 අද වනවිට රට තුළ උද්ගතව ඇති දැවැන්ත දේශපාලන හා ආර්ථික මෙන්ම සමාජ අර්බුදයට විසඳුමක් සොයා යෑමේදී මහජනතාව ඒ පිළිබඳව දැනුවත් කිරීම අතශයින්ම වැදගත්ය. එහිදී මාධ්‍ය සතු කාර්යභාරය අති විශාලය. මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින එම මාධ්‍යවේදී කණ්ඩායමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර සිරස මාධ්‍ය ආයතනය ඇතුළු සමස්ත මාධ්‍ය සමාජයටම ඔවුන් ඉටුකරමින් සිටින කාර්යභාරය වෙනුවෙන් අපගේ ස්තුතිය පිරිනමන්නෙමු.

 එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීම ද අප තරයේම හෙළාදකින්නෙමු. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ විසම්මුතියට ඉහළම ගරුත්වයක් තිබිය යුතුය. වෙනස් වූ දේශපාලන මතයක් දැරීමට ඇති අයිතිය පිළිනොගන්නා සමාජයකට යහපත් ඉදිරි පැවැත්මක් තිබිය නොහැකිය. රටේ අනාගත පරපුරේ නාමයෙන් හෝ ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට සමාජයක් ලෙස අප වගබලා ගත යුතුව තිබේ. ඒ සඳහා රටේ සමස්ත සමාජයේම අවධානය යොමුවනු ඇතයි අප අපේක්ෂා කරන්නෙමු. මෙම සිදුවීම පසුපස සැඟවුණු බලවේග ඇත්දැයි සොයා බැලීම ද වැදගත් වේ. රට යථා තත්ත්වයට පත්වනු දැකීම අපගේ ඒකායන පරමාර්ථයයි. මෙහිදී පාර්ලිමේන්තුවට මෙන්ම මුළු මහත් සමාජයටම ජාතික වගකීමක් ඇති බව ගෞරවයෙන් පෙන්වා දිය යුතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment