හිඟ බෙහෙත් වර්ග 83 ක් ලැබුණා

45

මෙරට රෝහල්වලට අවශ්‍යව තිබූ ඖෂධ වර්ග 151න් 83ක් 08 වැනිදා වන විට ලබා ගැනීමට හැකියාව ලැබුණු බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවැසීය.

ඊට අමතරව ඉදිරි සති දෙක තුන තුළ තවත් ඖෂධ වර්ග රැසක් ලැබීමට නියමිත බවත් ඒ අනුව මෙම කාර්තුව අවසන් වන විට දැනට පවතින ප්‍රශ්න රැසක් විසඳා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් හෙතෙම කීවේය.

රටේ ඖෂධ හිඟයක් ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.

රටේ පවතින සමස්ත ආර්ථික කඩා වැටීමත් සමග ඇතිවුණ ප්‍රශ්නත් එක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රයට උපරිම සහයෝගය ලබා දෙන්න මුදල් අමාත්‍යාංශය කටයුතු කරලා තිබෙනවා. ඉන්දියානු ණය ක්‍රමය යටතේ ඖෂධ දුන්නත්, එය අපි උඩින් දකින තරම් පහසු ක්‍රියාවලියක් නෙවෙයි. ඉන්දියානු රුපියල්වලින් ගෙවන කොට එහි නිෂ්පාදකයා එය භාර ගන්න අකැමැත්තකින් කාලයක් ගියා. ඇණවුමක් සහතික කළාට පස්සේ සති තුනක් හෝ හතරක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට යනවා. ඒ නිසා ණය ලැබුණු ගමන් ගිහින් ගන්න පුළුවන් කියලා හිතනවා නම් එය පහසු නැහැ. වෙළෙඳ අමාත්‍යාංශයෙන් භාණ්ඩයක් ඇණවුම් කරනව වගේ ලේසි නැහැ.

මම කිව්වා මේ කාර්තුව අවසන් වන විට සියයට 75ක් 80 අවසන් කරනවා කියලා. ඇතැම් ආයතනවල අවුරුදු ගාණක් කරගෙන ගිය ක්‍රම වේදයන් වෙනස් කරන්න වුණා. සාමාන්‍ය විදියට තිබුණ කාලයෙත් සෞඛ්‍ය කේෂේත්‍රයේ සියලු දේ අංග සම්පූර්ණ වෙලා තිබුණෙත් නැහැ. යම් යම් අඩුපාඩු තිබුණා. එය වාර්තාවලින් පෙන්වන්න පුළුවන්.

අකිත පෙරේරා, රනිල් ධර්මසෙන

advertistmentadvertistment
advertistmentadvertistment