අරගලකරුවන්ට පහරදීම ගැන විමර්ශන අවසන් කර උඨෘත නීතිපතිට යැව්වා

131

සී අයි ඩී ය අධිකරණයට දන්වයි

පසුගිය ජුලි 9 වැනිදා අරගලකරුවන්ට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර ඉදිරි උපදෙස් ලබාගැනීම සඳහා විමර්ශන උඨෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ඊයේ (30 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැන්වීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම තනතුරේ රාජකාරි කරනතුරු අරගලකරුවන්ට සිදුකළ අමානුෂික පහරදීම් සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදුකිරීම අපේක්‍ෂා කළ නොහැකි බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ (30 දා) කොටුව මහෙස්ත්‍රාත්වරයාට පැවැසීය. විමර්ශන නිලධාරීන් එකී නිලධාරියා සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබාදෙන ලද උපදෙස් අනුව හෝ කටයුතු කරන බවක් නොපෙනෙන බැවින් අධිකරණය සතු බලතල ප්‍රකාරව දේශබන්දු තෙන්නකෝන් මහතා එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් කරන ලෙසට ද ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 7 වන වගන්තිය අනුව අධිකරණයට ඒ සඳහා බලතල ඇතැයි ද පැවසූ ජනාධිපති නීතිඥවරයා අධිකරණ සංවිධාන පනතේ 54 වන වගන්තිය අනුව එවැනි නියෝගයක් කිරීමට අවශ්‍ය ශක්තියම අධිකරණයට ලබාදී ඇතැයි ද කීවේය. දේශබන්දු තෙන්නකෝන් මහතා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලිසියට භාරදුන් රුපියල් එක්කෝටි හැත්තෑඅටලක්‍ෂ පනස් දහසක මුදල් ටිරාන් අලස් මහතාට භාරදෙන ලෙසට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කර ඇති බව පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් මේ වනවිටත් අධිකරණයට වාර්තා කර ඇතැයි පවසමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා එම කරුණු දැක්වීම කළේය. දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් නීතිපතිවරයා මුල් අවස්ථාවේදීම ලබාදෙන ලද උපදෙස් අනුව විමර්ශන නිලධාරීන් කටයුතු කළේ නම් මෙවන් ගැටලුවක් පැන නොනගින බව විවෘත අධිකරණය හමුවේදී පැවැසූ මහෙස්ත්‍රාත්වරයා නීතිපතිවරයාගේ එකී උපදෙස් අනුව ක්‍රියාත්මක කළ එක් කරුණක් ගැන හෝ අධිකරණයට පෙන්වා දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා අරගලය සම්බන්ධ නඩුවලට යම්කිසි බලපෑමක් සිදුකළේ දැයි විමර්ශන සිදුකර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට එහිදී පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා අගතියට පත් පාර්ශ්වය දේශබන්දු තෙන්න්කෝන් මහතා සම්බන්ධයෙන් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී තම අධිකරණය කිසිදු නියෝගයක් නිකුත් නොකරන බව ද පැවැසීය.

විමර්ශන පිළිබද වැඩිදුර ප්‍රගතිය ලබන ජනවාරි 11 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙසටද විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 35 දෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබිණි. දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment