ඡන්දයකට සල්ලි දෙන්න බැහැ!

294

රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසූ බව ඇමැති බන්දුල කියයි

රට තුළ පවතින මුදල් ප්‍රවාහය අනුව මැතිවරණය සඳහා මුදල් ලබාදීමේ හැකියාවක් නොමැති බව තමන් කළ විමසීමකදී මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඡන්දය නොපැවැත්වීමේ අදහසක් රජයට නොමැති බව කී ඇමැතිවරයා මේ වන විට රට තුළ පවතින තත්ත්වය හමුවේ ලැබෙන ආදායමෙන් ශතයක්වත් ඉතිරි කර ගැනීමට රජය කටයුතු නොකරන බවද පැවසීය. ණය ගෙවීම පැහැර හැර තිබෙන රටක් ලෙස මේ වන විට ශ්‍රී ලංකාවට වියදම් පියවා ගැනීමට ණය ලබා ගැනීමේ හැකියාවක් නොමැති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ගැටලුවට විසඳුමක් ලබා ගැනීමට ගෙන යන වැඩපිළිවෙළ හමුවේ මුදල් අච්චු ගැසීම කළ නොහැකි බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (14දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.

ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අද වන විට රට පුරා සිදු කෙරෙමින් තිබූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රාශියක කටයුතු අතරමඟ නතර කර දමා තිබෙන බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පෙබරවාරි මාසයේ රජයේ ආදායම වියදම් කිරීම

වී මිලදී ගැනීම පිළිබඳ ගැටලුවට විසඳුමක් ලබා දෙමින් දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් රුපියල් බිලියන 11 ක් වැය කර කිලෝව රුපියල් 100 ගණනේ ගොවීන්ගේ වී තොග මිලදී ගෙන දිළිඳු පවුල් ලක්‍ෂ විස්සක් සඳහා නොමිලේ සහල් කිලෝ ග්‍රෑම් දහය බැගින් ලබාදීමට තීරණය කර ඇත.

වී අලෙවි මණ්ඩලයේ මිලදී ගැනීම්වලට අමතරව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා මුදල් වෙන් කෙරුණු බවද බන්දුල ගුණවර්ධන මහතා කීය.

එසේම පෙබරවාරි මස ආදායම යොදවා අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට මෙන්ම රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් 18000 ක් වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිඟ විශ්‍රාම වැටුප ලබා දීමට ද නියමිතය.

එසේම මන්දපෝෂණය අවම කර එය තුරන් කර දැමීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටද නියමිත අතර සමෘද්ධි, ගැබිනි මව්වරුන්, වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන මාසික දීමනා නිසි පරිදි ලබා දීමට කටයුතු කෙරෙන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment