ජනයා රකින්න කියා ආපු  ආණ්ඩුව මැරයන් රකිනවා.. ඇවන්ගාඩ් සම්බන්ධ නැති නිසා අරුන්දිකගේ මුළු සිද්ධියම පොලිසිය සොයා ගත්තා…

290

රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පැමිණි රජය මේ වන විට මැර කණ්ඩායම් ආරක්ෂා කරමින් සිටින බවත් මේ වන විට රටේ ජනතාවට සිදුව ඇත්තේ රජයෙන් ආරක්ෂා වී සිටීම බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (03 වැනිදා) කියා සිටියේය.

ඒ මහතා ඊයේ (03 වැනිදා) එම එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. ඔහු මෙසේද පැවසීය.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා සහභාගි වූ ගම්පහ දිස්ත‍්‍රික් සමුළුවවට මැර ප‍්‍රහාරයක් එල්ල කළ දෙදෙනකු අල්ලා දුන් පසුව පරීක්ෂණ නොපවත්වා ඔවුන් නිදහස් කර හැරීම පිළිබඳව අපට බරපතළ ගැටලූවක් තිබෙනවා. ප‍්‍රහාරය සිද්ධ වෙන විටම මේකට ආණ්ඩුව සම්බන්ධ බවට, ජනාධිපතිවරයාට සම්බන්ධ පිරිසක් බවට අපට සැකයක් තිබුණා. පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිසිය මැදිහත් වන ආකාරය නිසා ඒ සැකය තහවුරු වී තිබෙනවා. ආණ්ඩුව මෙයට සම්බන්ධ නැත්නම් සැකකරුවන් දෙදෙනාව ගෙදර යවන්නේ නැහැ. මේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් නොකර නිදහස් කර යැවීම බරපතළ සිද්ධියක්. මෙයින් පැහැදිලි වෙන්නේ ජනාධිපතිවරයාගේ මට්ටමේ ඉඳලාම සම්බන්ධයක් මෙයට තිබෙන බවයි.

ප‍්‍රදේශයේ සාමාන්‍ය කිහිප දෙනෙක් එකතු වෙලා මේ පහරදීම කළා නම් මේ වනවිටත් පරීක්ෂණ පවත්වලා ඉතිරි කට්ටියත් සොයා ගෙන අවසානයට යනතුරුම පොලිසිය ක‍්‍රියා කරනවා. මේ සිද්ධියේදී පරීක්ෂණ පැවැත්වීමට ඉහළ බලපෑම් තිබෙන බව අපට සම්පූර්ණයෙන්ම තහවුරු වී තිබෙනවා. ඒ නිසා අපිට මේ සිද්ධිය පිළිබඳව ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ. ආණ්ඩුව පැත්තෙන් දැන් වෙනස් ප‍්‍රබන්ධයක් කරගෙන යන බව අපිට වාර්තා වෙනවා. සමුළුව බලන්න ගිය දෙන්නෙක් ප‍්‍රහාරයට සම්බන්ධ බව කියලා පොලිසියට භාර දුන් බව කියන්න උත්සාහ කරනවා.

ආණ්ඩුව දේශපාලන බලපෑම් කරලා වහන්න යන මේ සිද්ධිය බරපතළ බව අපි ජනතාවට කියනවා. මේ සිද්ධියට පසුව වෛද්‍ය සිසුන්ටත් රාත‍්‍රී කාලයේ මැර ප‍්‍රහාරයක් එල්ල කළා. එයත් හෙළා දකිනවා. වෛද්‍ය සිසුන් එකතු වෙලා වාහනයක් සහ එක පුද්ගලයෙක් අල්ලා ගත්තා. වාහනය පොල් සංවර්ධන මණ්ඩලයේ බව, අල්ලාගත් පුද්ගලයා අරුන්දික ප‍්‍රනාන්දු ඇමැතිවරයාගේ

පෞද්ගලික සේවකයෙකු බවත් හෙළි වුණා. පොලිසිය මේ සියලූ තොරතුරු හොයා ගත්තා. මොකද එතන ඇවන්ගාඞ් හිටියේ නැහැ. අපට පහරදීමේ සිද්ධියේදී ඇවන්ට් ගාඞ් හිටියා. එක සමාන සිද්ධි දෙකකදී පොලිසියට දෙයාකාරයකට කටයුතු කරන්න සිදුවී තිබෙනවා. පොලිසියට පරීක්ෂණ කරන්න අවශ්‍යතාව තිබුණත් ඉහළින් එන බලපෑම් නිසා කරන්න බැරිවී තිබෙනවා.

ගෝඨාභ්‍ය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් වෙලා සිටි කාලයේදී මර්දනකාරී කළු අතීතයක් තිබෙනවා. එතුමාගේ හොඳම සහායකයා බවට නිශ්ශංක සේනාධිපති පත්වී සිටිනවා. ඔහුට ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව බරපතළ කෝපයක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පරද්දන්න රුපියල් කෝටි 50ක් වියදම් කරන බවට වහසිබස් දොඩපු පුද්ගලයකුට සම්බන්ධ පිරිසක් සමුළුවට එල්ල කළ මේ ප‍්‍රහාරය බරපතළ එකක්.

ඔහුට අයත් දෙදෙනකු පොලිසියට අල්ලා දීලත් පරීක්ෂණ පවත්වන්න අසමත් නම් බරපතළම ප‍්‍රශ්නයක්. ඒ නිසා මෙය අත්හැර දැමිය නොහැකියි. මෙවැනි තත්ත්වයන්ට එරෙහිව ක‍්‍රියා කිරීමේ වගකීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියලූම දෙනාට තිබෙනවා. මේක ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රශ්නයක් නෙවෙයි. බලය අයිස් කන්දක් වගේ දියවී යන ආණ්ඩුවෙන් ගැලවී යන බොහෝ දෙනා ජාතික ජන බලවේගය වටා එකතු වෙනවා. ඒ නිසා ඔවුනට තිබෙන අභියෝගය ජාතික ජන බලවේගයයි. ඒ නිසා ජාතික ජන බලවේගය බියවද්දා නතර කරන්න ඔවුන් උත්සාහ කරනවා. ඔවුන් දුර්වල වෙමින් ජාතික ජන බලවේගය ශක්තිමත් වෙන බව මේ පහර දීමෙන් ඔවුන් පිළිඅරගෙන තිබෙනවා. ප‍්‍රහාරයට පැමිණි අය ප‍්‍රකාශ කර තිබුණේ ප‍්‍රශ්නයයක් වුණොත් බේර ගන්න අය සිටින බවයි.

මැර කණ්ඩායම්වලට ලයිසන් දීපු සංඥාවක් මෙතන තිබෙනවා. ආණ්ඩුව මීට සම්බන්ධ නැත්නම් මීට සම්බන්ධ සියලූ දෙනා අධිකරණයට ඉදිරියට ගේන්න ඕනෑ. මෙවැනි පාදඩ ක‍්‍රියා අනුමත කරන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන හැම දෙනාම මෙවැනි තත්ත්වයන් පරාජය කරන්න පෙළගැසෙන ලෙස ඉල්ලා සිටිනවා.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment