උතුරු නැගෙනහිර දෙදිනක් තුළ ගවයින් 836ක් එළුවන් 256ක් මැරිලා

308

පළාත් අතර හරක් මස් එළු මස් ප්‍රවාහනය ජනපති අත්හිටුවයි

මහජන සෞඛ්‍ය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර ඇත.

උතුරු පළාතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්ක ආශ්‍රිතවත්, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක ආශ්‍රිතවත් ඊයේ සහ පෙරේදා (08, 09) දිනයන්හිදී හදිසියේ ගවයන්, මී ගවයන් සහ එළුවන් මියයෑම සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇත.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය සහ අදාළ නිලධාරීන් වගකීම් සහගතව කටයුතු කළයුතු බවට ද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන අන්දමට ගතවූ දෙදින තුළ උතුරු පළාතේ ගවයන් 358 ක් සහ එළුවන් 191 ක් මියගොස් ඇති අතර, නැගෙනහිර පළාතේ ගවයන් 44 ක්, මී ගවයන් 34 ක් සහ එළුවන් 65 ක් මියගොස් තිබේ.

මේ වන විට උතුර හා නැගෙනහිර පශු වෛද්‍යවරුන් අදාළ ස්ථානවලට ගොස් සතුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදෙමින් සිටින බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කරයි.

එමෙන්ම සතුන් මියයෑම පිළිබඳ පළමු අදියරේ මූලික විමර්ශන නැගෙනහිර සහ උතුරු පළාත්වල අදාළ දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් පශු විමර්ශන මධ්‍යස්ථාන හරහා පශු විමර්ශන නිලධාරීන් විසින් සිදුකර ඇති අතර, රට පුරා පැවති සීත කාලගුණය හේතුවෙන් ඇතිවූ හදිසි කම්පනයක් මත මෙම සතුන් මියගොස් ඇති බව අනුමාන කරන බවද හේමාලි කොතලාවල මහත්මිය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත්වී පසුගිය 10 දා විද්‍යාගාර විමර්ශන ආරම්භ කළ බවත්, ඒ අනුව පේරාදෙණිය ප්‍රධාන කාර්යාලයේ පශු විමර්ශන නිලධාරීන් කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලින් මියගිය සත්ත්ව සාම්පල ලබාගැනීම සිදුකර ඇති බවත් ඇය සඳහන් කළාය.

එම සත්ත්ව සාම්පල ගන්නෝරුව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දී විද්‍යාගාර විමර්ශනයට භාජනය කරන බවද හේමාලි කොතලාවල මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

මේ අතර මුලතිව් හා කිලිනොච්චි පළාත්වලින් මියගිය සතුන්ගේ අයිතිකරුවන් මියගිය සතුන් වළ දමා ඇති අතර ඉතිරි සතුන් බේරා ගැනීම සඳහා ගිනිමැල ගසා සතුන් උණුසුම් කිරීමට පටන් ගෙන තිබේ.
චමින්ද සිල්වා, දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment