ගුවන්යානය තුළදීම ශ්‍රී ලාංකික දැරියකට අතවර කරලා – ඉන්දියානුවා අත්අඩංගුවට

1801

සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ගමන් ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක ලිංගික අතරවරයකට ලක් වීමෙන් පසු, එය සිදුකළ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන් යානා කාර්ය මණ්ඩලය විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ.

ඊයේ (13දා) උදෑසන 07.20 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානය තුළ මෙම ලිංගික අතවරය සිදු කර තිබේ.

මොහු 49 හැවිරිදි ඉන්දීය ජාතික වඩු කාර්මික ශිල්පියෙකි. ඔහු මෙම ගුවන්යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාව වෙත වෙනත් ගුවන් යානයකින් පිටත්ව යෑම සඳහා පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගියෙකි.

සෞදි අරාබියේ රැකියාවක නිරත තම පියා බැලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි අවිස්සාවේල්ල අවට එක් ගම්මානයක පදිංචි මවක් සහ ඇයගේ කුඩා දැරියෝ දෙදෙනා ද මෙම ගුවන් යානයේ ගමන් ගනිමින් සිටියහ. ඔවුන් අතරින් අවුරුදු 08 යි මාස 10 ක් වයසැති කුඩා දැරිය මෙසේ මෙම ඉන්දීය ජාතිකයා විසින් ලිංගික අතවරයකට ලක් කර තිබූ අතර, ඒ පිළිබඳව ගුවන් යානා කාර්ය මණ්ඩලය වෙත පැමිණිලි කිරීමට මෙම මව පියවර ගෙන තිබුණි.

ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාරදීමට ගුවන් යානා කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබුණි.

මේ වනවිට අතවරයට පත් ශ්‍රී ලාංකික දැරිය සහ ඉන්දීය ජාතිකයා මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණ සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් යොමු කර තිබේ.

ඉන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙක් පැවසීය.

කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් පේත් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත උප පොලිස් පරීක්ෂක චන්දන, පොලිස් සැරයන් (38220) දිසානායක සහ කාන්තා පොලිස් කොස්තාපල් (12168) සෙව්වන්දි යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
කටුනායක – ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment