කැලිපනාවෙල – කොටබක්ම ගම් දෙක පස් යටට

511

හල්දුම්මුල්ල ප්‍රදේශයේ ඊයේ (13දා) වනවිට ගම් දෙකක් පොළොවේ පස්වලට යටවෙමින් විශාල නාය යෑමක් සිදුව තිබේ.

ඉරිදා (11දා) වනවිට කොස්ලන්ද කැලිපනාවෙල අක්කර 200ක් සම්පූර්ණයෙන්ම නාය යෑමකට ලක්ව පවුල් 83 ක පුද්ගලයෝ 279 දෙනෙක් අවතැන් වී සිටියහ. ජීවිත හානි කිසිවක් වාර්තා නොවුණි.

කැලිපනාවෙල - කොටබක්ම ගම් දෙක පස් යටට

එම ගම පස්වලින් යටවීම නිසා නිවෙස් 9ක් සම්පූර්ණයෙන්ම යටවී නොපෙනී ගොස් තිබේ.

එම නිවෙස්වල සිටි දරුවන්ගේ පොත්පත් සහ ඇඳ සිටි වස්ත්‍රය හැරෙන්නට අනෙකුත් සියල්ලම ඔවුනට අහිමි වී තිබේ.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේ අවතැන් වූවන්ට අලුත්වෙල ප්‍රදේශයෙන් ඉදිරියේදී නිවාස ලබාදීමට සාකච්ඡා කරමින් සිටින බවය.

මේ අතර කොස්ලන්දේ තවත් ගමක් වන කොටබක්ම නාය යෑමට ඊයේ වනවිට පටන්ගෙන තිබූ බව කොස්ලන්ද පොලිසිය පවසයි.

මෙම නාය යෑම දින තුනක සිට සිදුවෙමින් පවතින බවද පොලිසිය කියයි.

පවුල් 50ක් පමණ පදිංචි කොටබක්ම ගම්මානයේ නිවාස තුනක් දැඩි අවදානම් තත්ත්වයක පවතින බවත්, එම නිවෙස්වල බිත්ති පුපුරා ගොස් ඇති බවත් එම නිවෙස්වල පදිංචිකරුවන් ආරක්‍ෂිත ස්ථානවල පිහිටි තම හිතවතුන්ගේ නිවෙස්වල රාත්‍රිය ගතකරන බවත් පොලිසිය පවසයි.

මෙම ස්ථානය පසුගියදා නාය යෑමට ලක්වූ කොස්ලන්ද කැලිපනාවෙල ගම්මානයේ බස්නාහිර දෙසට මායිම්ව පිහිටා තිබේ. නාය යෑමට ලක්ව තිබෙන ස්ථානයට ඉහළින් පිහිටා ඇත්තේ කුඹුරු යායක් බවත් ප්‍රදේශවාසීහු පවසති.

එම කුඹුරු නාය යෑමට ලක් වුවහොත් කොටබක්ම ගම්මානයට යෑමට ඇති එකම මාර්ගය නාය යෑමකට ලක්වන බවත්, එසේ වුවහොත් තමන්ට එක පැත්තකට කොටුවීමට සිදුවන බවත්, වන අලි තර්ජනවලට ද ලක්වීමට සිදුවන බවත් ගම්වාසීහු පවසති.
හපුතලේ – නයනානන්ද බුවනෙක සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment