සුභද්‍රාරාමයේ විහාරාධිපති  හිමියන්ට මන්නයකින් කොටලා – බේරගන්න ආ හිමියන්ටත් කොටලා

1096

සැකකරු අත්අඩංගුවට

නුගේගොඩ සුභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ට විහාරාස්ථ සංඝාවාසය තුළදී පුද්ගලයෙකු මන්නයකින් කොටා ඇති අතර එහිදී උන් වහන්සේව බේරා ගැනීමට උත්සාහගත් විහාරවාසී හිමිනමකටද එම මන්නා පහර වැදීමෙන් කැපුම් තුවාල සිදුව ඇත. හිමිවරුන් දෙදෙනාම කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට පෙරේදා (30 දා) පස්වරුවේ ඇතුළත් කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස කැපුම් තුවාල ලබා රෝහල්ගතකර ඇත්තේ නුගේගොඩ සුභද්‍රාරාම විහාරාධිපති පල්ලේවෙල දේවරක්ඛිත හිමිපාණන් (68) සහ විහාරාවාසී හිමිනමක වන වවුල්පනේ මහින්ද හිමිපාණන් (47) ය.

විහාරාධිපති හිමියන්ගේ උරහිසටද, විහාරවාසී හිමිනමගේ අතක ඇඟිලි කීපයකටද කැපීම් තුවාල සිදුව ඇත.

මෙම අපරාධය සම්බන්ධයෙන් 35 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කාලයක් විහාරස්ථාන පරිශ්‍රයේ පරෙවියන් අලෙවිකරන වෙළඳසලක් පත්වාගෙන යමින් සිට ඇත. පසුව එම විහාරස්ථාන පරිශ්‍රයේ පාසලක් සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිත හෙයින් සැකකරුට රුපියල් අසූදහසක මුදලක් ලබාදී එම පරිශ්‍රයෙන් ඉවත් කිීරීමට විහාරාධිපති හිමියන් කටුතු කර තිබේ.

පසුව නැවතත් ඔහු තමාට එම පරිශ්‍රයේ වෙළෙඳාම් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට විහාරාධිපති හිමිපාණන් හමුවීමට පෙරේදා උදේ ගොස් තිබිණි. එහිදී විහාරාධිපති හිමිපාණන් ඒ සඳහා අවස්ථාව ලබා දිය නොහැකි බව පවසා ඇත.

අනතුරුව විහාරස්ථාන පරිශ්‍රයෙන් පිටව ගිය සැකකරු නැවත පෙරේදා පස්වරුවේ මන්නයක් රැගෙනවිත් මෙම අපරාධය සිදුකර ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේ මහතාගේ අධීක්‍ෂණය යටතේ මිරිහාන මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක කුලරත්න මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරික්‍ෂක ප්‍රභාත්, පොලිස් කොස්තාපල්වරුන් වන දර්ශන, චතුරංග ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එච්. ඩී. අබේසිංහ මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment