ඩොලර් මලු විසිවන මංගල එල්පීඑල් වෙන්දේසිය අද

275

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ජාත්‍යන්තර ක්‍රීඩකයින් ද ඇතුළත් ක්‍රීඩක වෙන්දේසියක් සිදු කෙරෙන පළමු අවස්ථාව සනිටුහන් කරමින් 2023 ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය අද (14 වැනිදා) කොළඹ දී පැවැත්වීමට නියමිත වේ.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අද පස්වරු 3 ට ආරම්භ වීමට නියමිත එම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචි වී ඇත.

ඒ අතරට දේශීය ක්‍රීඩකයින් 204 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 156 දෙනෙක් අයත් වේ.

කණ්ඩායම් පහකින් යුත් මෙවර තරගාවලිය සඳහා එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් මිලදී ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් වියදම් කළ හැකි අතර, ඒ අනුව කණ්ඩායම් පහ විසින්ම වෙන්දේසියේ දී ඩොලර් මිලියන 2.5 ක් වියදම් කිරීමට නියමිතය.

වෙන්දේසිය සදහා වියදම් කළ හැකි මුදලෙන් අවම වශයෙන් 85% ක් එක් කණ්ඩායමක් විසින් ක්‍රීඩකයින් මිලදී ගැනීම සඳහා ආයෝජනය කිරීමට ද වගබලා ගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

වෙන්දේසිය සඳහා වට 51 ක් ඇතුළත් අතර, එහිදී පිතිකරුවන්, තුන් ඉරියව් ක්‍රීඩකයින්, වේග පන්දු යවන්නන් හා දඟ පන්දු යවන්නන්, කඩුලු රකින්නන් මෙන්ම ජාත්‍යන්තර වරම් දිනූ හා දිනා නොමැති වැනි කාණ්ඩ යටතේ ක්‍රීඩකයින් වෙන්දේසියට ඉදිරිපත් කෙරේ.

වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට අවම වශයෙන් ක්‍රීඩකයින් 16 දෙනෙකු මිලදී ගැනීමට සිදු වේ. ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් ද සිව් දෙනකු ඇතුළත් විය යුතු බවත් සෑම කණ්ඩායමක්ම වයස අවුරු 21 න් පහළ ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ද සිය සංචිතයට තෝරා ගත යුතු බවත් එල්පීඑල් තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා ඊයේ (13 වැනිදා) ‘දිවයින’ට පැවසීය.

රටේ මොන තරගාවලිය පැවැත්වූවත් අපේ අරමුණ විය යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගොඩ නැඟීම බවත් අවුරුදු 21 න් පහළ ක්‍රීඩකයකු මෙම හැම කණ්ඩායමකට ම අනිවාර්ය සාධකයක් බවට පත්කළේ එම අරමුණින් බවද දොඩන්වල මහතා පැවසීය.

මේ වන විටත් සෑම කණ්ඩායමක්ම විදෙස් ක්‍රීඩකයින් දෙදෙනකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනකු සමග ගිවිසුම්ගත වී අවසන් බවද ඒ මහතා සඳහන් කළේය.

ඉන්දියාවේ චාරු ෂර්මා වෙන්දේසිකරු ලෙස කටයුතු කරන අතර ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 2023 එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය එල්පීඑල් ඉතිහාසයේ සිව්වැනි අදියර වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment