හැටන් නැෂනල් යළිත් ශූරියෝ වෙති – ඩයලොග් නෙට්බෝල් ජාතික ශූරතාවය

129

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සංවිධානය කළ ඩයලොග් නෙට්බෝල් ජාතික ශූරතාවය යළිත් වරක් දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත් විය.

අවසන් තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එරෙහිව එක ලකුණක තියුණු ජයග්‍රහණයක් ලබමින් ඔවුහු එම ශූරතාවයට හිමිකම් කී අතර 40-39 ක් ලෙස ලකුණු පුවරුව සටහන් විය.

තරගාවලියේ තෙවන ස්ථානය සඳහා වරාය අධිකාරිය සමගින් ශ්‍රී ලංකා නාවික හමුදාව තරග වැදි අතර එහි ජය නාවික හමුදාවට හිමිවිය.

කණ්ඩායම් 26 ක් තරග වැදි මෙවර තරගාවලියේ කාණ්ඩ 08 ක් යටතේ මූලික තරග පැවැත් විණ. මූලික වටයේ තරග ලීග් ක්‍රමයට පැවැත්විණි. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත්වුණු අතර 42-22 ක් ලෙස එහි ජය ගුවන් හමුදාවට හිමි විය. දෙවන අවසන් පූර්ව තරගයට හැටන් නැෂනල් බැංකුව සමගින් වරාය අධිකාරිය සුදුසුකම් ලැබූ අතර එහි ලකුණු තත්ත්වය 48-28 ලෙස සටහන් විය.

මෙවර තරගාවලිය වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදී පසුගිය දෙදින (20, 21) පැවැත්විණ.

මෙවර තරගාවලියේ නෙට්බෝල් රැජින ලෙස ගුවන් හමුදාවේ රශ්මි පෙරේරා කිරුළු පැළඳීය.

දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදාවේ රුක්ෂලා හපුආරච්චිද, දක්ෂතම රකින්නිය ලෙස ගුවන් හමුදාවේ සුරේකා කුමාරි ද සම්මාන ලැබූහ. හැටන් නැෂනල් බැංකුවේ දර්ශිකා අබේවික්‍රම දක්ෂතම විදින්නිය ලෙස සම්මාන ලැබීය.
ශිරන්ති ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment