ඔලිම්පික් ප‍්‍රවේශයට සුදුසුකම් ලබා ගැනීමට කසකස්තානයේ සහ ඉන්දියාවේදී තරගාවලි!

173

පවතින කොවිඞ් 19 වසංගත තත්ත්වය මත තරගවලට සහභාගිවීමට නොහැකිවීමෙන් ඔලිම්පික් පරිසාදන මට්ටමට ළඟාවීමට නොහැකි වූ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්හට තම ඉලක්ක කරා ළඟාවීමට කසකස්තානයේ හා ඉන්දියාවේ පටියාලාහි පැවැත්වෙන තරග දෙකක් සඳහා සහභාගි කර වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය දැඩි පරිශ‍්‍රමයක් ගනිමින් සිටින බව එහි සභපති පාලිත ප‍්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවසීය.
 
 පවතින කොවිඞ් 19 තත්ත්වය මත වීසා ලබාගැනීමේ සහ ගුවන් ටිකට් පත් වෙන්කර ගැනීමේ දුෂ්කරතා තිබුණ ද ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා පරිසාදන මට්ටම් ළඟා කර ගැනීමට ඇති අවස්ථා මෙම මස 29 වැනිදායින් අවසන් වන බැවින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්හට කෙසේ හෝ මෙම තරගාවලි ද්විත්වය ලබාදීමට තමන් කටයුතු කරමින් සිටින බව පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසීය.
 
 ශ‍්‍රී ලාංකීක මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතුරින් ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉහළින්ම සිටින්නේ බාධක දිවීමේ ක‍්‍රීඩිකා නිලනි රත්නායක වන අතර ලබන 29 වැනිදා වනවිටත් ඇය දැනට සිටින 37 වන ස්ථානයේ (ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ශ්‍රේණිගත කිරීමවලට අනුව) හෝ පළමු 45 දෙනා අතර සිටිය හැකි නම් ඇයගේ ටෝකියෝ ගමන ස්ථිර වනු ඇත.
 
 ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ශ්‍රේණිගත කිරීමවලට අනුව හෙල්ල විසිකිරීමේ ක‍්‍රීඩක සුමේද රණසිංහ, මීටර 400 ක‍්‍රීඩිකා නදීශා රාමනායක, මීටර 800 ක‍්‍රීඩිකා නිමාලි ලියනාරච්චි, උසපැනීමේ ක‍්‍රීඩක උශාන් තිවංක සහ ඉතාලියේ වෙසෙන යුපුන් අබේකෝන් සුදුසුකම් ලැබීමට ආසන්නයේම සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වේ.
 
 සතිඅන්තයේදී මීටර 100 ශූර යුපුන් අබේකෝන් යුරෝපීය තරගාවලියකට සහභාගිවීමට නියමිත අතර අනිකුත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ මීටර 400 ක‍්‍රීඩක කාලිංග කුමාර ඇතුළු කණ්ඩායමකට කසකස්තාන තරගාවලිය සහ ඉන්දියාවේ පටියාලාහි පැවැත්වෙන තරගාවලිය කෙසේ හෝ ලබාදීම තම උත්සාහය බව මලල ක‍්‍රීඩා සභාපතිවරයා පැවසීය.
 
 මේ වනවිට අමෙරිකාවේ ටෙක්සාස්හි වෙසෙන උශාන් තිවංක ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ශ්‍රේණිගත කිරීමවලට අනුව 51 වන ස්ථානයේ සිටියි. මීටර 2.30 ක් උසක දක්ෂතාවක් පෙන්වා ඇති තිවංක හට ඔලිම්පික් සුදුසුකම ලැබීමට නම් මීටර 2.33ක උසකට ළඟා වීමට හෝ ශ්‍රේණි ගතකිරීම් අනුව පළමු 32දෙනා අතර සිටීම කළ යුතු වෙයි.
 
 මීටර් 100 ඉසව්වෙන් තත්පර 10.09 ක පෞද්ගලික හොඳම දක්ෂතාවයක් දක්වා ඇති යුපුන් අබේකෝන් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ශ්‍රේණිගත කිරීමවලට අනුව මේ වනවිට 65 වන ස්ථානයේ සිටින අතර සුදුසුකම් ලැබීමට නම් ශ්‍රේණිගත කිරීම්වල පළමු 56 දෙනා අතරට පැමිණීම හෝ තත්පර 10.05ක් කාලයක් වාර්තා කිරීම සිදු කළ යුතුය. රියෝ ඔලිම්පික් තරගාවලියට සහභාගි වූ සුමේද රණසිංහ සුදුසුකම් ලැබීමේ ශ්‍රේණිගත කිරීමවලට අනුව 43 වන ස්ථානයේ සිටින අතර එය ඔහු 32 වන ස්ථානය දක්වා වර්ධනය කරගත යුතු වන අතර නොඑසේ නම් මීටර 85ක දුරක් වාර්තා කළ යුතුවේ. කාන්තා මීටර 800 සඳහා සුදුසුකම් ලැබීමේ ශ්‍රේණිගත කිරීම අනුව ඉහළින් සිටින 48දෙනා තෝරා ගන්නා අතර නිලානි රත්නායක මේ වනවිට පසුවන්නේ 57 වන ස්ථානයේය. කාන්තා මීටර 400 සඳහා ද සුදුසුකම් ලබීමේ ශ්‍රේණිගත කිරීම අනුව ඉහළින් සිටින 48දෙනා තෝරා ගන්නා අතර නදීශා රාමනායක මේවනවිට පසුවන්නේ 57 වන ස්ථානයේය.
 
 කොවිඞ් 19 වසංගත තත්ත්වය මත ශ‍්‍රී ලාංකීක මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සුදුසුකම් ලැබීම සඳහා තිබූ ජාත්‍යන්තර තරග කිහිපයක්ම මගහැරී ගිය අතර සුදුසුකම් ලැබීමට ආසන්නයේම සිටි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හට 99 වන ජාතික ශූරතාවලියේ ඔවුන්ගේ තරග සංචරණ සීමා පැනවීමට ප‍්‍රථම ලබාදුන්නද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඔවුනට තම සුපුරුදු දස්කම්වලට ඒමට පවා නොහැකි විය.

advertistmentadvertistment
advertistmentadvertistment