කල් පැනපු මන්ත්‍රීවරයෙක්ගේ වටිනාකම මිලියනයයි…අපිට හුලං

142

වැඩි මිලට රක්‍ෂණය වන මන්ත්‍රීවරු

තට්ටු මාරු ක්‍රමයට ජනතාවට තට්ටු කරන දේශපාලනඥයෝ

ශ්‍රී ලංකාව මේ වනවිට ඉතිහාසයේ අන් කවරදාවත් නොවූ විරූ අයුරින් අන්ත දුප්පත් වී තිබේ. ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්වෙමින් තිබේ. දිනෙන් දින දරිද්‍රතාව, මන්දපෝෂණය, වංචාව, දූෂණය ඉහළ යමින් පවතී. මේ වනවිට මෙරට බංකොළොත් රාජ්‍යයක් වී අවසානය. නමුත් දේශපානඥයන්ට ඒ ගැන වගේ වගක් නැත. දිනෙන් දින ජනතාව මත බදු පිට බදු ගසමින් ආණ්ඩුව උත්සාහ කරන්නේ අන්තිම රීරි මාංසයද උරා බීමටය. එසේ එකතු කරන මුදලින් ජනතා ශුභ සිද්ධිය සලසනවානම් ප්‍රශ්නයක් නැත. නමුත් ගැටලුව වන්නේ මෙසේ එකතු කරන බදු මුදල් ජනතා ශුභසිද්ධියට යොදවනවා වෙනුවට මැති ඇමැති සුඛවිහරණය වෙනුවෙන් වෙන්කර ගැනීමයි. දිනෙන් දින අහන්නට, දකින්නට ලැබෙන්නේ මන්ත්‍රීවරුන්ගේ වැඩිවන ඉන්ධන දීමනා දුරකථන දීමනා, නිවාස කුලී, රක්‍ෂණාවරණ, නවීන යාන වාහන පිළිබඳ ප්‍රවෘත්තිය. ජනතාවට දැන් මේ 225 නඩත්තු කිරීම මහත් හිසරදයක් වී තිබේ. මන්ද දේශපාලනඥයන් පසුගිය අවුරුදු 74 මුළුල්ලේම සිදුකර ඇත්තේ තට්ටු මාරු ක්‍රමයට ජනතාවට තට්ටු කිරීම පමණි.

● මැති ඇමැතිවරුන්ගේ ඉතිහාසය

පාර්ලිමේන්තුවට පත්ව සිටින බොහෝ මැති ඇමැතිවරුන්ගේ ඉතිහාසය ගෙන බැලුවහොත් සියලු දෙනා නොවුණත් බොහෝ දෙනා අන්ත දුප්පත්ව සිටි එදාවේල යන්තමින් ගැටගසා ගත් අය වෙති. නමුත් ජනතාවට ප්‍රශ්නය වන්නේ උපතින් ධන කුවේරයන් නොවූ පිරිසක් අදවනවිට මහා ධන සිටාණන් ලෙස සමාජයේ වැජඹීමය. ලැබෙන මැති ඇමැති වැටුපෙන් පමණක් මෙවන් සුඛෝපභෝගී ජීවිත ගෙවිය නොහැක. අනිවාර්යයෙන්ම කොමිස් ගැහිලි වැනි අයථා මාර්ග වලින් මුදල් ඉපයිය යුතුමය. එසේම මේවනවිට ලැබෙන වාර්තා අනුව සාමාන්‍ය පෙළවත් නැති මන්ත්‍රීවරු බොහොමයකි. මෙරට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් උපාධියක්වත් හිමි පිරිස අතලොස්සකි. නමුත් ගැටලුව වන්නේ සාමාන්‍ය පෙළවත් නැති පුද්ගලයා මෙන්ම උගත් මහාචාර්යවරු මෙන්ම උපතින්ම සල්ලිකාරයන් වූ අය පවා මෙම තනතුරුවලට පත්වීමෙන් පසු මුදලට ගිජුවී අසීමිත ලෙස අයථා මාර්ග වලින් මුදල් ඉපයීමට පෙළඹීමය.

● මන්ත්‍රී රක්‍ෂණය ඉහළට

මෙරට දරු පරපුරේ ආරක්‍ෂාවට තිබූ සුරක්‍ෂා රක්‍ෂණ ක්‍රමයත් කප්පාදු කළ ආණ්ඩුව මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මෙතෙක් කාලයක් රු. ලක්‍ෂ දෙකක් වූ රක්‍ෂණාවරණය මේ වනවිට ලක්‍ෂ දහයක් දක්වා ඉහළ නංවාගෙන තිබේ. සමහරවිට ජනතා නියෝජිතයන් සිතනවා ඇත්තේ මහජනතාවට සේවය කිරීමට නම් පළමුව අප සෞඛ්‍ය සම්පන්නව සිටිය යුතුය කියාය. එදාවේල කන්නවත් නැති ජනතාවක් සිටින රටක 225ක ශුභසිද්ධිය සලසා ගැනීම මොනතරම් යුක්ති සහගතද යන්න මෙම තීරණය ගැනීමට පෙර සිතා බැලුවාද යන්නනම් සැක සහිතය. මේ පත්වන මන්ත්‍රීවරු කිසිවකු හිඟන්නෝ නොවෙති. එසේම ඡන්ද කාලයට ඡන්ද දායකයන්ගේ දෙපතුළ ළඟටම විත් මහජන සේවයට කැපවන බවට දස අතේ දිවුරා පොරොන්දු දෙති. එවන් මහජන නියෝජිතයන් ඡන්දයෙන් පසු හැසිරෙන්නේ වෙනමම ආකාරයකටය. තමන්ගේ පෞද්ගලික මුදලින් මිලියනයක නොව මිලියන 10ක රක්‍ෂණයක් ලබා ගත්තත් අපට ගැටලුවක් නැත. නමුත් රට මේ තරම් අගාධයකට වැටී ඇති අවස්ථාවක මෙවන් දෙයක් සිදුකිරීම යුක්තිසහගත නොවේ.

පසුගිය කාලයේ රට තුළ ඇතිවූ අරගලත් සමගින් බොහෝ මන්ත්‍රීවරු සිටියේ කටුව තුළටම වීය. ගමන් බිමන් ගියේ කුඩා ඇල්ටෝ වැනි මෝටර් රථ මගිනි. සමහර මන්ත්‍රීවරු මාසයකට දවසක්වත් දකින්නට ලැබුණේ නැත. නමුත් දැන් නැවතත් අලු ගසා දමා පෙර පුරුදු පරිදිම සුඛෝපභොගී ජීවන රටාවට, ජනතාව තලා පෙළා කටයුතු කිරීමට පෙළඹී තිබේ. නැවත ජනතා නැගිටීමක් සිදුවී ජනතාවගෙන් ගුටි කෑමට සිදුවුවහොත් ප්‍රතිකාර ගැනීමට මේ අහිංසක දුප්පත් මන්ත්‍රීවරු 225ට මුදල් නැති නිසා රක්‍ෂණය වැඩිකරගත්තා ද විය හැක.

එසේ නොවෙයිනම් මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු බහුතරයක් හැට පැනපු සීයලා, ආච්චිලා බැවින් වයසට යනවිට නිරන්තරයෙන්ම ලෙඩ රෝග හටගනී. එබැවින් ඊට මුහුණදීමට සියලු දෙනා එකට එකතු වී සාකච්ඡා කර මෙම තීරණය ගත්තාද විය හැක. (වයසක උදවියට අපහාසයක් කළා යැයි නොසිතන්න) නැතිනම් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන් බොහෝ දෙනකුට වසර තුන හතරකින් වැටුපක් වැඩි නොවී, ලයිට් බිල්, වතුර බිල්, අත්‍යව්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන්, ප්‍රවාහන වියදම් අහස උසට නැග ඇති මෙවන් අවස්ථාවක මොළේ කළඳක් ඇති පුද්ගලයෙකු තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මෙවන් තීරණයක් නොගන්නවා ඇති.

● රක්‍ෂණයක් හිමිවන වයස් සීමාව

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්‍ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හරහා සිදුවන අතර අනෙකුත් රක්‍ෂණ සමාගම්වල පවා රක්‍ෂණයක් හිමිවන වයස් සීමාවක් හා ප්‍රතිලාභ හිමිවන වයස් සීමාවක් පවතී. එය බොහෝ දුරට 18 න් ආරම්භ වන අතර 60 – 65 අතර පවතී. අවුරුදු 60දී සම්බන්ධ කර ගත්තද 70 පසු ප්‍රතිලාභ හිමිවන්නේ නැත. ඒ වයසින් වැඩි පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමෙන් වන අවදානම නිසාය. වයසට යනවිට රෝගාබාධ බහුලව හටගන්නා නිසා මෙම වයස් සීමා පනවා තිබේ.

නමුත් ආයතනික වශයෙන් රක්‍ෂණය ලබා දීමේදී මෙය වෙනස්වන අතර ඔවුන්ගේ වයසත් සමග ඒ සඳහා අයකරන වාරිකය ඉහළ අගයක් ගනී. වසය අඩු පුද්ගලයන්ට අඩු වාරිකයක් අයකරන අතර අවසානයේ රක්‍ෂණ වාරක මුදල තීරණය කරන්නේ සියල්ලන්ගේ වයස් මට්ටම අනුව ගණනය කළ රක්‍ෂණ වාරිකවල එකතුව එකක් ලෙස ගෙන රක්‍ෂණය හිමිවන සැමට සමාන වාරිකයක් ලැබෙන ලෙසය. මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 2022 වසර දක්වා එවන් ආයතනික රක්‍ෂණයක් හිමිවූ අතර එය ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලංකා රක්‍ෂණ භාර අරමුදල මගිනි. එය රුපියල් ලක්‍ෂ දෙකක උපරිමයකට යටත්ව තිබිණි. නමුත් මන්ත්‍රීවරුන් බොහෝමයකට මේ මුදල ප්‍රමාණවත් වූයේ නැත. ඒ නිසාම පාර්ලිමේන්තුවේ ගෘහ කටයුතු පිළිබඳ කාරක සභාවේ මේ පිළිබඳ සාකච්ඡා කොට මෙම මුදල ලක්‍ෂ 10ක් දක්වා වැඩිකර තිබේ. දැනගන්නට ඇති ආකාරයට මේ සඳහා වාරික මුදල් ගෙවන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසිනි.

● රක්‍ෂණ ප්‍රතිලාභ

ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව මගින් ක්‍රියාත්මක මෙහි රක්‍ෂණාවරණය වර්ෂයකට රු. ලක්‍ෂ 10කි. එක් අවස්ථාවක් සඳහා රක්‍ෂණ ආවරණයේ උපරිමය ලක්‍ෂ 8කි. පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබීමේදී එක් දිනක් සඳහා කාමර ගාස්තුව රු. 25000කි. ඊට අමතරව විශේෂ ප්‍රතිකාර ගාස්තු, පරීක්‍ෂණ ගාස්තු, ශල්‍යාගාර ගාස්තු, විශේෂඥ වෛද්‍ය ගාස්තු, ශල්‍ය වෛද්‍ය ගාස්තු ආදී ලෙසින් ප්‍රතිලාභ රැසක් හිමිවේ.

නේවාසික රෝගීන්ගේ වෙනත් ආන්තික ප්‍රතිලාභ යටතේ පවුල් ඒකකයට හෝ සාමාජිකයාට සජීවී දරු උපතකදී ලක්‍ෂ 2ක්ද සිසේරියන් සැත්කමකට ලක්‍ෂ 3ක් ද රජයේ රෝහලක ප්‍රතිකාර ලැබීමේදී එක් දිනකට 5000 බැගින් දින 30ක උපරිමයක් දක්වාද, එක්ස්රේ, ස්කෑන් බෙහෙත් මිලට ගැනීම ඇතුළු පරීක්‍ෂණ සඳහා රු. 150,000 මුදලක්ද හිමිවේ.

මීටත් අමතරව නිවුන් දරු උපතකදී, කණ්ණාඩි මිලට ගැනීමට, ඇසේ ශල්‍යකර්මවලට, ගමනාගමනයට ආදී ලෙසින් තවත් ප්‍රතිලාභ බොහෝමයක් හිමි වේ.

● රක්‍ෂණයේ වැයබර

ලක්‍ෂ දෙකේ සිට මිලියනය දක්වා රක්‍ෂණය ඉහළ දැමීමත් සමග ඒ සඳහා අයකරන වාරික මුදලද ඉහළ නංවා තිබේ. ඒ අනුව රුපියල් 130,000 අමතර වැයබරක් දරමින් නව රක්‍ෂණ වාරිකය රුපියල් 220,000ක් දක්වා ඉහළ නංවා තිබේ. මෙය මන්ත්‍රීවරු 225 සඳහා ගත්කල රු. මිලියන 49.5කි. මෙතරම් මුදලක් වැයකර මන්ත්‍රීවරුන් රක්‍ෂණයක් ලබාගන්නේ නැත. ලැබෙන ආරංචි මාර්ගවලට අනුව මේ සියලු වැය බර දරන්නේ පාර්ලිමේන්තුව මගිනි. ඒ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට අසීමිතව බදු පනවා ලබා ගන්නා බදු මුදල්ය.

රක්‍ෂණ වාරික මුදල මේ තරම් වැඩිවන්නේ වයසක මන්ත්‍රීවරු බහුල බැවිනි. පාර්ලිමේන්තු සංයුතිය දෙස බැලූ කල වයස 80 ඉක්මවූ අය 06 දෙනෙකි. වයස 70ට වැඩි පිරිස 17කි. හැට පැනපු සංඛ්‍යාව 49 කි. හැට පිරෙන අය 06කි. රටක් ඉදිරියට යෑමට නම් තරුණ ජවය, අලුත් අදහස්, ක්‍රියාශීලීව වැඩකළ හැකි පිරිසක් අවශ්‍ය ය. දැන් කියන දේ දැන් අමතක වන දෙයක් අතහැරීමට අකැමැති පරණ හණමිටි අදහස් සමග ඉදිරියට යෑමට නොහැක. උපදේශක මට්ටමින් තරුණයන් හා වැඩ කළ හැකි කීපදෙනෙක් සිට ඉතිරි සියලු දෙනා අලුත් පරම්පරාවට රට භාරදිය යුතුය. වරදක් සිදුවේනම් ඒවා පෙන්වා දී හරිමගට ගැනීම දශක ගණනාවක අද්දැකීම් ඇති මහජන නියෝජිතයන්ට කළ හැකිය.

වාහනයක් වුණත් පරණ වෙනකොට නිරන්තරයෙන් ලෙඩ වේ. එවිට එහි ක්‍රියාශීලීත්වය අඩුය. එවන් වාහන රක්‍ෂණය කිරීමට රක්‍ෂණ සමාගම් අදිමදි කරති. ඒ නිසි පරිදි ක්‍රියා නොකරන බැවින් අනතුරු සිදුවීමට තිබෙන ඉඩකඩ වැඩි බැවිනි. අපේ මන්ත්‍රීවරුන්ටත් සිදුව ඇත්තේ මේ දෙයමය. වැඩි තක්සේරු වටිනාකමකට ජීවිතයේ සැඳෑ සමය ගෙවන මන්ත්‍රීවරුන්ගේ ජීවිත ලංසු තබන්නටය.

● මැති ඇමැති වරප්‍රසාද

මන්ත්‍රීවරයෙකුට 54,285 කුත් නියෝජ්‍ය ඇමැතිවරයෙකුට 63,500 කුත්, රාජ්‍ය හා කැබිනට් ඇමැතිවරයෙකුට 65,000කුත් විපක්‍ෂ නායකවරයාට 65,000 කුත්, කථානායකවරයාට 68,000 කුත් අග්‍රාමාත්‍යවරයාට 71,500කුත් වශයෙන් මූලික වැටුපක් හිමි වේ. ඊට අමතරව ප්‍රවාහන දීමනා, දුරකථන දීමනා, සංග්‍රහ දීමනා, කාරක සභා දීමනා, පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වන කාරක සභාවලට සහභාගි වීම වෙනුවෙන් දීමනා, වාර්ෂිකව රු. 350,000 මුද්දර, ෆැක්ස් යන්ත්‍රයක්, ෆොටෝ කොපි යන්ත්‍රයක්, ලිපි ද්‍රව්‍ය, කාර්යාලයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් දීමනා ලෙස මහා දීමනා ගොන්නක් මෙයට ඇතුළත් වේ.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment