රිය අනතුරකට අල්ලා රිමාන්ඩ් කළාට එරෙහි හිටපු එස් ඩී අයි ජී රවිගේ පෙත්සම මැයි 14 ට කල්යයි

605

කිසිදු ජීවිත හානියක් හෝ රජයේ දේපොළ හානියක් සිදුවී නොතිබියදීත් රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමාව අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 14 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12දා) දින නියම කළේය.

තමා එලෙස අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගත් පොලිස් නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන ලෙසටද ඉල්ලා රවි සෙනවිරත්න මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම් ලත් විනිසුරු මඬුල්ලක් ඉදිරියේදී කැඳවිණි. එම පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ගොනුකිරීමට දින ලබාදෙන ලෙසට පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. එකී සීමිත විරෝධතා ඉදිරි නඩු දිනයේදී ගොනු කිරීමට පියවර ගන්නා ලෙසට විනිසුරු මඬුල්ල නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට නියෝග කළහ.

කොළඹ බම්බලපිටිය මුහුදු බඩ මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් පසුව බීමත්ව රිය පැදවීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලූ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමාව රක්ෂිත බන්ධනාගාර ගතකළ බවත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබුණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment