අලි සබ්‍රි රහීම් ආචාර ධර්ම කමිටුවට කැඳවා විමර්ශනයක් කරන්න – සුසිල් ප්‍රේමජයන්ත

56

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී නීති විරෝධී ලෙස රත්තරන් හා ජංගම දුරකථන මෙරටට ගෙන ඒම පිළිබඳ වරදකරු වූ මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට කැඳවා පුළුල් පරීක්ෂණයක් සිදු කොට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (25දා) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා ඉකුත් මැයි මස 23 වැනිදා රන් කිලෝග්‍රෑම් 3 කට අධික ප්‍රමාණයක් හා ජංගම දුරකථන ඇතුළු තවත් භාණ්ඩ තොගයක් පාර්ලිමේන්තු වරප්‍රසාද හා අදාළ ගමන් බලපත්‍රය භාවිත කරමින් නීති විරෝධීව කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තයෙන් ගෙන ඒමට කටයුතු කළ අතර එම නීති විරෝධී ක්‍රියාවට රේගුව විසින් රුපියල් ලක්ෂ 75 ක දඩයක් නියම කර භාණ්ඩ තොගය රාජසන්තක කරන ලදී.

මේ පිළිබඳව රේගු අධ්‍යක්ෂවරයා විසින් කථානායකවරයා වෙත වාර්තාවක් මගින් දැනුම් දී තිබිණි.

ඒ අනුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහය උල්ලංඝනය කර ඇති අතර මහජන නියෝජිතයකු ලෙස මහජනතාවගේ විශ්වාසය කඩ කර ඇත. මෙමගින් උත්තරීතර පාර්ලිමේන්තුවේ හා එය නියෝජනය කරන සමස්ත මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී ඇති නිසා එම කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුවට යොමු කර පුළුල් විමර්ශනයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බව සභානායකවරයා දැනුම් දුන්නේය.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment