ශානි අබේසේකර ඇතුළු 4ක් නිදහස්

179

ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස තිබූ දර මඩුවක ටී 56 වර්ගයේ ගිනි අවි සහ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය සඟවා තබා එම අවි සහ පුපුරන ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට අයත් යැයි කියමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා නීතිපති උපදෙස් මත ගම්පහ මහෙස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය ඊයේ (25 දා) එම චෝදනාවලින් නිදහස් කළාය.

ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ලැබී ඇති නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස්, විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක සහ විදේශගතව සිටින හිටපු පොලිස් පරීක්ෂක ඒඩි්‍රයන් නිශාන්ත සිල්වා යන සැකකරුවෝ සිව් දෙනා මෙසේ නීතිපති උපදෙස් මත එම නඩුවෙන් නිදහස් කරනු ලැබූහ.

සැකකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඇති හෙයින් සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධව නැවත සලකා බලන ලෙසට පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා මගින් නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති හෙයින් ඊට අදාළ ප්‍රතිචාර ලැබෙන තෙක් සැකකරුවන්ට එරෙහිව පවතින නඩුව තවදුරටත් පවත්වාගෙන යන ලෙසට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හපීල් ෆාරිස් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල යන මහත්වරුන් අධිකරණය හමුවේ පවසා සිටියේ නීතිපතිවරයා ලබා දී ඇති උපදෙස් මත ක්‍රියා කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය බැඳී සිටින බවයි. මහෙස්ත්‍රාත් අධිකරණයක පවත්නා නඩුවක් තවදුරටත් පවත්වාගෙන නොයන බවට නීතිපති දෙපාර්තමේන්තුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට දන්වා සිටීමෙන් අනතුරුව එම නඩුව ශූන්‍ය වන බව නීතිඥවරු අධිකරණය හමුවේ පැවසූහ. එසේම මෙම සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණ ඇප නියෝගයේ මෙම සැකකරුවන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ගොනු කර ඇති නඩුව නිර්මාණය කරන ලද්දක් බවට පැහැදිලිව සඳහන් වන බව ද පැවසීය. සැකකරුවන්ට ඇප ලබාදීමේ නියෝගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසය ක්‍රියා කර නැති බව ද නීතිඥ මඬුල්ල අධිකරණය හමුවේ පැවසූහ.

අධිකරණය සැකකරුවන්ට එරෙහිව පරීක්ෂණ සිදුකර නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද උධෘතවලට අමතරව නැවතත් වැඩිදුර විමර්ශනය කර ඊට අදාළ උද්ධෘත නැවත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත්දැයි කොළඹ අපරාධ කොට්ඨාසයෙන් විමසීය.

නැවත උධෘත යොමු කිරීමක් සිදුකර නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නිශාන්ත නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය.

මෙම නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බවට නීතිපති උපදෙස් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ලැබී ඇති බව පැවසූ මහෙස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් අභිබවා ක්‍රියා කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණයකට බලයක් නොමැති බව පැවසුවාය.

තවද එම නීතිපති උපදෙස්වලින් අනතුරුව එකී නීතිපති උපදෙස් මත ක්‍රියා නොකිරීමට නීතිපතිගෙන් නැවත උපදෙස් ලැබී නොමැති බවත් පැවසූ මහෙස්ත්‍රාත්වරිය ලැබී ඇති නීතිපති උපදෙස් ප්‍රකාරව අධිකරණය හමුවේ පෙනී සිටින මෙම නඩුවේ 01, 02, 04 චූදිතයන් නිදහස් කරන බවට නියම කළාය. එමෙන්ම අධිකරණය හමුවේ පෙනී නොසිටි තුන්වෙනි සැකකරු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන චූදිතට විරුද්ධව ද මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවට නීතිපති දන්වා ඇති හෙයින් එම චූදිත ද මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසට නියම කළාය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා යන නිලධාරීහු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

මල්දෙනිය හේරත්, සජීව එරන්ද, ෂැනන් තිලකරත්න, හපීල් ෆාරිස් යන නීතිඥ කණ්ඩායම සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

2013 වර්ෂයේ දී ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ නිවසක දර මඩුවකට ටී-56 ආයුධ සහ කිලෝ 05 ක් බරැති ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුධ තොගයක් සහ පුපුරන ද්‍රව්‍ය ගෙනැවිත් දමා එම ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය දැනට මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන එම විත්තිකරුගේ පුතුන් දෙදෙනකු සහ බිරිඳ ඇතුළු අට දෙනකුට අයත් බව පවසමින් සාක්ෂි නිර්මාණය කර ව්‍යාජ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණය නොමඟ හැරීම යන චෝදනා ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් සිව් දෙනාට විරුද්ධව ගොනු කර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එකී චෝදනාවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සැකකාර ශානි අබේසේකර ඇතුළු සැකකරුවෝ තිදෙනෙක් වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවූහ.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment