ශ්‍රී ලංකාව හරිත හයිඩ්‍රජන් සැපයීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරනවා – ජනාධිපති

118

දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී සහ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී අතිනවීන හරිත බලශක්තිය උපරිමයෙන් දායක කරගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ආර්ථික සාධක සහ දිගු කාලීන බලපෑම් සැලකිල්ලට ගනිමින් පුළුල් දැක්මකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට මඟ පෙන්වීම සඳහා බලශක්ති පරිවර්තන නීතියක් සහ බහු නියෝජිත කමිටුවක් පිහිටුවීමටද යෝජනා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (21දා) කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී ආරම්භ වූ 2023 ශ්‍රී ලංකා හරිත හයිඩ්‍රජන් සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහයෝගීතාවයෙන් “ග්‍රීන්ස්ටැට්” හරිත බලශක්ති සමාගම සමඟ එක්ව මෙය සංවිධානය කර තිබිණි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ශ්‍රී ලංකා ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකාව හරිත හයිඩ්‍රජන් සැපයීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරනවා - ජනාධිපති

2023 වසර සඳහා වන එක්සත් ජාතීන්ගේ විමෝචන වාර්තාව උපුටා දක්වමින් සංවර්ධිත රටවල් විමෝචනය අවම කිරීම සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී කණගාටුව පළ කළ ජනාධිපතිවරයා මෙම සියවස අවසන් වන විට ගෝලීය උෂ්ණත්වය අංශක 3කින් ඉහළ යා හැකි බවද පෙන්වා දුන්නේය. ඒ අනුව වසර 2030 වන විට ගෝලීය උෂ්ණත්වය වැඩිවීම අංශක 1.5 දක්වා සීමාකිරීමේ ඉලක්කයක් සහිතව දේශගුණික විපර්යාස සඳහා කඩිනමින් පිළියම් යෙදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

2030 වන විට ගෝලීය උෂ්ණත්වය වැඩිවීම අංශක 1.5 දක්වා සීමා කිරීමේ ඉලක්කය වෙනුවෙන් පෙනී සිටීම හා ඒ සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම මෙම මස අවසානයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී (COP28) ප්‍රදර්ශනය කරන බවද ජනාධිපතිවරයා පැවසීය. වඩාත් කාර්මිකරණය වූ රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පරිසර දූෂණ මට්ටම අඩු වුවද එය නොසලකා හරිමින් ඒ වෙනුවෙන් පෙනී සිටින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව හරිත හයිඩ්‍රජන් සැපයීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරනවා - ජනාධිපති

ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ සූර්ය බලශක්තිය සහ සුළං බලය උත්පාදනය සඳහා පවතින ඉහළ විභවතාවද පෙන්වා දුන් ජනාධිපතිවරයා අතීතයේදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ ධාන්‍ය අපනයනකරුවෙකු වූ අයුරින් ඉදිරියේදී බලශක්ති අපනයනකරුවෙකු බවට පත් විය යුතු බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව බලශක්තියෙන් ස්වාධීන කිරීමට මෙන්ම හරිත හයිඩ්‍රජන් සැපයීම සම්බන්ධයෙන් කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග්, ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්ම මහත්මීන්ද මෙහිදී අදහස් දැක්වූ අතර ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සුරත් ඕවිටිගම යන මහත්ම මහත්මීන්ද, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ මෙන්ම “ග්‍රීන්ස්ටැට්” හරිත බලශක්ති සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment