දියවැඩියා රෝගීන්ගේ පාද කපන්න තරම් බරපතළ වන තුවාල

215

දියවැඩියා රෝගය නිසා පාදයේ කොටසක් කපා දැමූ පුද්ගලයන්ගෙන් ඒ ගැන විමසූවිට ලැබෙන පොදු පිළිතුර වනුයේ, පුංචි තුවාලයක් කකුලේ ඇතිවුණ දා ඒක කකුල දිගේ පැතිරිලා කකුල කපන්න වුණා යැයි කියාය. මෙලෙස දියවැඩියා රෝගීන්ගේ පාදවල ඇතිවන කුඩා තුවාලයක් සුවනොවී පාදය කපා දැමීමට තරම් බරපතළ වන්නේ කුමන හේතුවක් නිසාදැයි කියා අවධානය යොමු කර බලමු.

දියවැඩියාව නිසා පාදයේ ඇතිවන තුවාල

දියවැඩියා රෝගියකුගේ පාදයේ දණහිසින් පහළ කොටසේ තුවාලයක් ඇති වූ විට ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. මන්දයත් දණහිසින් පහළ කොටසේ ඇතිවන ඉතා කුඩා තුවාලයක් වුව අන් අයගේ මෙන් ඉක්මනින් සුව නොවීමය. ඒ සඳහා බලපාන හේතු කිහිපයක් ඇත.

රුධිර නාළ වෙනස්කම්

දිගු කාලයක් තිස්සේ දියවැඩියා රෝගයෙන් පෙළෙනවිට අපගේ සිරුරේ ඇති කුඩා රුධිර නාළ සහ විශාල රුධිර නාළවල වෙනස්කම් ඇතිවේ. කුඩා රුධිර නාළවල ඇතිවන වෙනස්කම් (Microvasculopathy) සහ විශාල රුධිර නාළවල ඇතිවන වෙනස්කම් (Macrovasculopathy) නිසා රුධිර ගමනාගමනය හොඳින් සිදු නොවේ. එවිට දෙපාවල අග කොටසට රුධිරය ගමන් කිරීම අඩුවේ. (peripheval vascular Disease) එනිසා හොඳින් ඔක්සිජන් සහ පෝෂණය නොලැබේ. මෙම තත්ත්වය නිසා දෙපාවල අග කොටස වන යටිපතුල්, ඇඟිලි කරු අතර ආදී ප්‍රදේශයේ ඇතිවන තුවාල සුවවීම පමාවේ.

ස්නායු දුර්වලතා

දියවැඩියාව දිගු කාලයක් පැවතීම සහ එය පාලනය සඳහා දිගු කාලයක් ඖෂධ ගැනීම නිසා ස්නායු දුර්වලතා හටගනී. (Neuropathy) දියවැඩියා රෝගයේදී පාදවල හිරිවැටීම ඇතිවන්නේ මෙම ස්නායු දුර්වලතා නිසාය. තුවාලයක් සුවවීම සඳහා අවශ්‍ය ආරක්ෂක පද්ධතියක් ලෙස වේදනාව දැනීම ක්‍රියා කරයි. තුවාලයේ වේදනාව නොදැනෙනවිට ඒ පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වයි. එනිසා තුවාලයට බාහිරින් විෂබීජ අදිය ඉතා පහසුවෙන් ඇතුළුවේ.

දහදිය නොදැමීම

දියවැඩියාව රෝගය දිගුකලක් පැවතීම නිසා අපගේ ස්නායු පද්ධතියේ ඇති දහදිය දැමීමට අදාළ ස්නායු (Autonomic Nervous System) ක්‍රියාකාරිත්වය අඩපණවේ. එවිට දෙපාවලට නිසි ලෙස දහදිය දැමීම සිදු නොවේ. මෙය කාලයක් පැවතීම නිසා දෙපාවල සම වියළීමට ලක්වේ. මෙලෙස වියළීමට ලක්වූ සම මත ඉතා පහසුවෙන් තුවාල ඇතිවිය හැකිය. එනම් සුළු කැසීමකින් පවා සම තුවාල වීම සිදුවේ.

තුවාල සුව කරගැනීම

දියවැඩියා රෝගය නිසා ඇතිවන රුධිර නාළ වෙනස්කම් සහ ස්නායු දුර්වලතා ආදී හේතු මත දෙපාවල දණහිසට පහළ කොටසේ ඉතා සුළු තුවාලයක් මතු වුව ද ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.

එහිදී වෛද්‍යවරයා තුවාල සුවවීම සඳහා ලබාදෙන ඖෂධ ගැල්වීම නිසි පරිදි සිදුකළ යුතුය. එසේම තුවාල සුව වනතුරු නිසි වෛද්‍ය අධීක්ෂණයට ලක්කළ යුතුය. ඇතැම් රෝගීන් විමසන්නේ තුවාලය හොඳ වුණාට යටින් පැසවලා කියාය. එසේ පවසන්නේ ස්නායු දුර්වලතා නිසා තුවාලයේ වේදනාව නොදැනීමය. වේදනාව නොදැනෙන නිසා සිතන්නේ තුවාලය සුවවී ඇතැයි කියාය.

දෙපා පිරිසිදු කිරීම

දියවැඩියා රෝගීන් තම දෙපා පිරිසිදු කිරීමේදී උණු ජලය භාවිතා නොකළ යුතුය. එය අන්තර්ජාතික වශයෙන් ලබාදී ඇති උපදෙසකි. ඊට හේතුව වන්නේ ස්නායු දුර්වලතා නිසා උණුසුම නොදැනීමය. මෙලෙස උණුසුම නොදැනීම නිසා උණු ජලය තුළ දෙපා වැඩි කාලයක් තබාගෙන සිටිය හැකිය. එසේ වූ විට එම උණුසුම හේතුවෙන් දෙපාවල සම තුවාල වීමට ඇති අවදානම වැඩිය. එබැවින් කුමන හෝ මට්ටමක දියවැඩියා රෝගය පවතින පුද්ගලයින් තම දෙපා පිරිසිදු කිරීම සඳහා උණු ජලය භාවිතා නොකළ යුතුය. එසේම දෙපාවල හිරිය නැති කිරීම සඳහා යැයි පවසමින් උණුසුම් පොට්ටනි මගින් දෙපා තැබීම ආදී තාප ප්‍රතිකාර කිසිවක් නොකළ යුතුය.

ක්‍රීම් වර්ග ආලේපය

දියවැඩියා රෝගීන් දෙපාවල ඇඟිලි අතර ක්‍රීම් වර්ග ආලේප කිරීමෙන් වැළැකිය යුතුය. ඇඟිලි අතර ක්‍රිම්වර්ග ගැල්වීම නිසා එම ප්‍රදේශයේ සමමත තෙත් බවක් ඇතිවේ. මෙම තෙත් බව නිසා ඉතා පහසුවෙන් දිලීිර පුස්වර්ග හටගනී.

දියවැඩියා රෝගීන්ගේ පවතින ස්නායු දුර්වලතා නිසා මෙම දිලීර හෝ පුස්වර්ග නිසා හටගන්නා ආසාදනවල වේදනාව නොදැනේ. එනිසා ඉතා පහසුවෙන් සිරුර තුළට එම විෂබීජ ඇතුළු වේ.

මේ අනුව නිසි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගතහොත් දියවැඩියාව රෝගීන්ට දෙපාවල ඇතිවන තුවාල නිසා පාද කපා දැමීමේ තත්ත්වය උදාකර නොගෙන තුවාල සුවකර ගත හැකිය.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0778899021 ඇමැතිය හැකිය.

දියවැඩියා රෝගීන්ගේ පාද කපන්න තරම් බරපතළ වන තුවාල

තුවාල ප්‍රතිකාර සම්බන්ධ
පශ්චාත් උපාධිධාරී
වෛද්‍ය ගයාන් ජයකොඩි
(MBBS, MSC)
වුන්ඩි වුන්ඩ් ඉනෝවේෂන්, තුවාල ප්‍රතිකාර මධ්‍යස්ථානය, රද්දොළුගම.

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment