බණ්ඩාරවෙල නවාතැනකදී තරුණියක මැරූ සැකකරු අල්ලන්න ජනතා සහය පතයි

496

බණ්ඩාරවෙල නගරයේ හෝටල් කාමරයක් තුළදී තියුණු ආයුධයකින් ඇන කපා කොටා තරුණියක ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

අනියම් සම්බන්ධයක් මුල්කර ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බව පොලිසිය පවසයි.

ඇටම්පිටිය කැන්දගොල්ල අශෝක නිවසේ පදිංචි ගල්ද්යවසම් බාලලාගේ සංජීවනී තුෂාරිකා ද සිල්වා නමැති හතළිස් හැවිරිදි කාන්තාවක මෙසේ හෝටල් කාමරයක් තුළදී ඝාතනය කර ඇත. මෙම හෝටලයට 23 දා සවස කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනහක පුද්ගලයකු පැමිණ හෝටල් කාමරයක් කුලියට ගෙන නතර වී සිට ඇති අතර 24දා උදෑසන මෙම මියගිය කාන්තාව මෙම පුද්ගලයා කුලියට ගත් කාමරයට පැමිණ ඔහු සමග නතරවී තිබේ. පසුව 24දා සවස හතරයි තිහට පමණ මෙම කාමරයේ සිටි පුද්ගලයා ඔහුගේ හැදුනුම්පත ද හෝටලයේ දමා පිටව ගොස් ඇත.

පසුව හෝටල් සේවකයන් කාමරය පරීක්‍ෂා කිරීමේදී මෙම කාන්තාව මරා දමා ඇති අයුරු දැක බණ්ඩාරවෙල පොලිසියට දන්වා තිබේ. මෙම කාන්තාව සමග සිටි පුද්ගලයා ලිපියක් හා බිත්තිවල ද විවිධ සටහන් ලියා මෙම කාන්තාව මරා දමා ඔහු ද වස පානය කර නාන කාමරය පුරා වමනය කර පිටව ගොස් තිබේ.

පෙම් පලහිලව්වක් මත මෙම කාන්තාව ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මියගිය කාන්තාවගේ මරණය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් කේ. ජීවරාණි මහත්මිය විසින් ඊයේ (24) රාත්‍රියේදීම පවත්වනු ලැබිණි. බණ්ඩාරවෙල නිල සුනඛ අංශය මගින් සිදු කරන ලද පරීක්‍ෂණයේදී ප්‍රධාන බස් නැවතුම්පළ හරහා දුම්රිය ස්ථානය දක්වා සැකකරු ගොස් ඇති බව වාර්තා වෙයි. බණ්ඩාරවෙල පොලිස් අධිකාරි බී. එම්. එම්. දසනායක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත කුමාරසිරි මහතාගේ අධීක්‍ෂණය යටතේ බණ්ඩාරවෙල පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරති.

බණ්ඩාරවෙල – කරුණාරත්න පල්ලේගම, හපුතලේ – බුවනෙක

advertistmentadvertistment
advertistmentadvertistment