වෙළෙඳ කලාපයේ තරුණයන්ට මත්පෙති විකිණූ ඔසුසල් හිමියා ඇතුළු 10දෙනකු කොටු

103

ඔසු සලට බලපත්‍රත් නැහැ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවයේ නිරත මත්පෙති සඳහා ඇබ්බැහි වූ තරුණයන් වෙත ඒවා අලෙවි කළ ඔසුසල් හිමියකු ඇතුළු දසදෙනකු කටුනායක පොලිසිය මගින් (24දා) අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ක්‍රියාත්මක කළ මෙහෙයුමක දී කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ සේවයේ නිරත මත්ලෝලී තරුණයන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .

ඔවුන් රඳවා තබා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී මෙම තරුණයන්හට මත්පෙති සපයන, කටුනායක ඇවරිවත්ත නගරයේ ප්‍රධාන ඇඟලුම් අලෙවි සැලක සේවකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

ඔවුන් ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කර ගෙන යෑමේදී කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ තරුණයන්ට මත් පෙති අලෙවි කරන බටහිර ඖෂධ සැල සහ මෙම ජාවාරම මෙහෙය වන එම වෙළෙඳ සැලේ හිමිකරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබුණි.

ඔහුට මෙම ඖෂධ අලෙවි සැල පවත්වා ගෙන යෑම සඳහා නීත්‍යානුකූල වෙළෙඳ බලපත්‍රයක් නොතිබුණු අතර , එහි සේවය කිරීම සඳහා සුදුසුකම් ලත් ඖෂධවේදියෙකු සහ බටහිර ඖෂධ අලෙවි කිරීම සඳහා ද ඖෂධ බලපත්‍රයක් ද තිබී නොමැත. පසුව සීදුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ද කැඳවා මෙම ඖෂධ වෙළෙඳ සැල පරීක්ෂාවට ලක් කළ අතර එහිදී මත් පෙති සහ අලෙවි කර අවසන් කර තිබූ හිස් මත් පෙති කාඩ් පත් විශාල ප්‍රමාණයක් ද සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍යතුමන්ගේ සහ මීගමුව සහකාර පොලිස් අධිකාරී රත්නායක මහතාගේ උපදෙස් මත මෙම ඔසු සල වසා මුද්‍රා තැබීමට ද කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි. මෙසේ අත්අඩංගුවට ගත් ඔසු සලේ හිමිකරු ඇතුළු අනෙකුත් පුද්ගලයන් දසදෙනා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර , ඔවුන් ලබන 01 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි .

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව සහකාර පොලිස් අධිකාරී රත්නායක මහතාගේ උපදෙස් මත කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මාරසිංහ, උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි , පොලිස් සැරයන් (37371) සුනිල් , පොලිස් කොස්තාපල්වරුන් වන (33249’) අනුෂ්ක , (37627) කුමාර , (93015) කරුණාරත්න , (96820) සඳමාල් , (100255) සෙනෙවිරත්න සහ (102289) මධුසංඛ යන මහත්වරුන් සිදු කරමින් සිටිති.
කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment