ගිය වසරේ ශ්‍රී ලංකන් ගමන් වාර 800ක් අවලංගු වෙලා

59

ප්‍රමාණවත් තරම් ගුවන්යානා නොමැතිකම හා යානා කිහිපයක් කාර්මික දෝෂවලට ලක්වීම නිසා ඉකුත් වසරේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානා ගමන්වාර අවලංගු වීම් අටසියයකට වඩා සිදුවූ බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙම ගුවන් ගමන් අවලංගුවීම් හා ප්‍රමාදවීම් නිසා දේශීය හා විදේශීය ගුවන් මගීන් අවස්ථා කිහිපයක දීම අපහසුතාවට පත්වූ බවද හෙතෙම කීය.

2013 වසරේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට A-350 වර්ගයේ මගී ගුවන් යානා හයක් මිලදී ගන්නට ගෙන තිබූ තීරණය 2015 දී බලයට පත් යහපාලන රජය අවලංගු කළ බවද එම නිලධාරියා කියා සිටියේය.

එකවර තුන්සියයකට වැඩි පිරිසක් රැගෙන යා හැකි එම ගුවන් යානා මිලදී ගැනීම අවලංගු කළ ද ඊට විකල්ප ක්‍රියාමාර්ගයක් නොගත් බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර ගුවන් සමාගම සතුව තිබූ ගුවන් යානා විසිහතරෙන් හයක් ම ධාවනයෙන් ඉවත් කිරීම නිසා පියාසර කළහැකි ගුවන්යානා ප්‍රමාණය දහඅටකට අඩුවී ඇත.

ඉකුත් වසරේ දී මේසා විශාල ගුවන් ගමන් වාර ප්‍රමාණයක් අවලංගු වීම හා ප්‍රමාද වීම සම්බන්ධයෙන් ගුවන් සමාගමේ සන්නිවේදන කළමනාකාර දීපාල් පෙරේරා මහතාගෙන් විමසූවිට ඒ මහතා කියා සිටියේ ගුවන් යානා කාර්මික දෝෂවලට ලක්වූ බවයි. ඊට අමතරව තවත් කාරණා කිහිපයක් හේතුවූ බවත් විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් පසු ලෝකයේම ගුවන් යානා අමතර කොටස් හිඟවීම නිසා මිලදී ගැනීමේ ප්‍රමාදය බලපෑ බවද හෙතෙම කීය. නමුත් ඉකුත් දෙසැම්බර් මාසයේ සිට ලීසිං ක්‍රම දෙකක් යටතේ මගී ගුවන් යානා තුනක් ලබාගෙන සිදුවන ප්‍රමාද හා අවලංගු වීම් වළක්වාගෙන ඇතැයිද දීපාල් පෙරේරා මහතා කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment