ඇල්පිටියේ අඩුපාඩු කතා කරන රැස්වීමට නිලධාරීන් නොපැමිණීම කනගාටුවක් – රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ

366

“ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රශ්න අඩුපාඩු ගැන කතා කරන සම්බන්ධීකරණ කමිටු රැස්වීමට වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් නොපැමිණීම කනගාටුවට කරුණක්. අද මේ රැස්වීමට ගමානගමන මණ්ඩලයේ නිලධාරියෙක් සහ ජල සම්පත් මණ්ඩලයේ නිලධාරියෙක් පැමිණ නෑ. මේ තත්ත්වය ඉතාම කණගාටුදායකයි. මෙම නිලධාරීන්ට එරෙහිව වහාම පියවර ගන්නවා“ යැයි ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

ඇය එසේ පැවසුවේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකර මහතාගේ කැඳවීමෙන් ඉකුත් 02 දා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමතා්‍යවරිය මෙසේද පැවසුවාය. “පෝෂණ ඌණතා ඇති දරුවන් පිළිබඳව වාර්තා වෙනවා. ලෝක බැංකු ආධාර යටතේ ඒ අයට කෑම වේලක් ලබා දෙන්න සැලසුම් කර තිබෙනවා. ග්‍රාම නිලධාරීන් මගින් සැබෑ තොරතුරු ලබාගෙන පෝෂණීය ආහාර වේලක් ලබාදී මන්දපෝෂණය තුරන් කරනවා. ආර්ථික අපහසුතා ඇතිව බඩගින්නේ ඉන්නවා නම් ඒ පිළිබඳව පෞද්ගලිකවම ප්‍රාදේශීය ලේකම් මුණගැසී දන්වන්න.

රජයේ ප්‍රතිපාදන ශත පහක්වත් ලබා නොගෙන මා එංගලන්තයේ සංවිධානයක් හරහා මුදල් ලබාගෙන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 500 ක් තෝරාගෙන ඒ අයට පළමු වසරේ සිට උසස් පෙළ දක්වා මසකට පවුම් 30 බැගින් (රුපියල් 12750/=) ලබාදීමටද සැලසුම් කර තිබෙනවා.

පෝලිම් යුගය නැතිකර වැටුණු රට ගොඩගන්න උත්සාහ කරන විට බලලෝභී අවස්ථාවාදී පිරිසකගේ අතකොළු බවට පත්වෙමින් මේ රටේ ඉතාම සුළු කඩාකප්පල්කාරී පිරිසක් රට තුළ විරෝධතා පවත්වමින් රට අස්ථාවර කරමින් රටේ පාලන බලය ලබාගන්න උත්සාහ කරනවා” යැයි පැවසීය.

මෙම රැස්වීම සඳහා ඇල්පිටිය කොට්ඨාසයේ සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන, සහකාර නිලධාරීන් ඇතුලුව විශාල රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

ඇල්පිටිය – විතාන ආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment