ශ්‍රීපාද රක්‍ෂිතයේ වනාන්තරවලට ගිනි තබයි – වතුරත් නැතිවන ලකුණු

27

ශ්‍රීපාද රක්ෂිතය අවට වනාන්තරවලට ගිනි තැබීමෙන් අක්කර ගණනක් විනාශ වී ජල මූලාශ සිඳී ගොස් ජලාශ ජල මට්ටම පහත බැසලා ශ්‍රීපාද රක්ෂිතය අවට තේ වතුවලට මායිම්ව පිහිටි වනාන්තරවලට හා මානා පතන්වලට මේ දිනවල ඇතැම් පිරිස් විසින් සිදුකරන ගිනි තැබීම් හේතුවෙන් ටර්පන්ටයින් වන වගාව අක්කර ගණනක් විනාශයට පත් වී ඒ ආශ්‍රිත ඇති ජල මූලාශ සිඳී යෑමේ තර්ජනයට ලක්ව ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති.

මෙම ගිනි තැබීම් නිසා ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වලට ජලය සැපයෙන ජල මූලාශ සිඳී යෑමෙන් එම ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 22 ක් දක්වා මේ වන විට පහත බැස ඇත.

මස්කෙළිය, බගවන්තලාව, නල්ලතන්නිය, ගාඩ්මෝර්, මරේ යන ප්‍රදේශවල මෙසේ ගිනි තැබීම් නිරන්තරව සිදු වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට වියළි කාළගුණය ආරම්භ වී මේ වන විට මාසයක පමණ කාලයක් වන අතර එම කාලය තුළ මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ දෙකේ ජල මට්ටම මෙලෙස ශීඝ්‍රයෙන් පහත බැසීමත් සමග ඉදිරියේදී පානීය ජලය සහ විදුලි අර්බුදයක් ඇතිවීමේ අවධානමක් ඇති බව පරිසරවේදී හූ පෙන්වා දෙති.

වන සතුන් දඩයම් කිරීම හා විනෝදය අරමුණු කරගෙන ඇතැම් සංවිධානාත්මක පිරිස් විසින් සිදු කරන මෙම කැළෑ ගිනි තැබීම්වලට එරෙහිව වගකිවයුත්තන් දැඩි නීති ක්‍රියාමාර්ග ගෙන මධ්‍යම කඳුකරයේ වන සම්පත ආරක්ෂාකරගත යුතු බව ප්‍රදේශයේ පරිසර හිතකාමී ජනතාව අවධාරණය කර සිටිති.

ගින්න පැතිරයෑම වැළැක්වීමට නල්ලතන්නිය පොලිසියේ නිලධාරීන් හා වතු ජනතාව එක්ව දැඩි උත්සහායක් දැරුවද ප්‍රදේශයට පවතින දැඩි වියළි කාළගුණය හා සුළං තත්ත්වය නිසා ගින්න පවතින ස්ථානයට ළඟාවීමට නොහැකි වීම හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

ප්‍රදේශයේ ඇතැම් සංවිධානාත්මක පරිස් හා පුද්ගලයන් විසින් වන සතුන් දඩයම් කිරීම හා විනෝදයට වියළි කාළගුණයක් පවතින කාලවල මෙම ගිනි තැබීම සිදු කරන බව ප්‍රදේශයේ ජනතාව පවසති.

මෙම ගිනි තැබීම් හේතුවෙන් මේ වන විට මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන ජල මූලාශ්‍ර ශීඝ්‍රයෙන් සිඳී යෑමේ තර්ජණයට ලක්ව තිබේ.

සටහන හා ඡායාරූප – මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment