රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීම වහා සිදු කරන්න – සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර

201

රුපියල් 20,000 කින් වැටුප් වැඩි කරන ලෙස රාජ්‍ය සේවකයින් කරන ඉල්ලීම සාධාරණ බවත් බොරු නොකර රාජ්‍ය සේවක වැටුප වැඩි කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

අවසන් වරට රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කළේ 2015 යහපාලන ආණ්ඩුවෙන් බවත් එදායින් පසුව රාජ්‍ය සේවක වැටුප් වැඩි නොවුණ බවත් මද්දුම බණ්ඩාර සඳහන් කළේය.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ ඊයේ (31දා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා මෙසේද පැවැසීය.

ලක්ෂ 14 කට වැඩියෙන් සිටින රාජ්‍ය සේවයේ නිලධාරීන් හා රාජ්‍ය සේවකයින් වැඩි පඩි ඉල්ලලා පාරට බැහැලා තිබෙනවා. රාජ්‍ය සේවකයින් සාධාරණ ඉල්ලීමක් කරලා තියෙනවා අවම වශයෙන් 20,000 කින් පඩිය වැඩි කරන්න කියලා. 2016 වනවිට පෙට්ට්‍රල් ලීටරය තිබ්බේ 117 ට අද පෙට්ට්‍රල් ලීටරය 361 ක් වෙලා. ඩීසල් ලීටරයක් තිබ්බේ රුපියල් 92 ට අද 341 ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. හාල් කිලෝවක් 68 තිබුණේ. අද 220 ක් වෙලා තිබෙනවා. අවම බස් ගාස්තුව තිබුණේ රුපියල් 9 ට අද වෙද්දි රුපියල් 30 ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ වනවිට විදුලිබිල 4 ගුණයකින් වැඩිවෙලා. ජලබිල වැඩි වෙලා. ගෑස් තුන්ගුණයකින් පමණ වැඩිවෙලා. අවම වශයෙන් රාජ්‍ය සේවකයින්ගේ පඩිය තුන්ගුණයකින්වත් වැඩි වෙන්න ඕන. සෑම අංශයකම වියදම මේ වනවිට දරා ගැනීමට නොහැකි ලෙස වැඩිවෙලා තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල, පාසල් ප්‍රවාහන රථවල, පොත් පත්වල මිල තුන් හතර ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. රජයේ සේවක මහත්ම මහත්මීන් අද ඉල්ලන්නේ රුපියල් 20,000 කින් තමන්ගේ වැටුප වැඩි කර දෙන්න කියලා. 2015 වේදී තමයි අවසන් වරට රාජ්‍ය සේවකින්ට වැටුප් වැඩි කළේ. යහපාලන ආණ්ඩුව සියයට 107 කින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩි කළා. එදායින් පසුව ඔවුන්ගේ වැටුප වැඩි වුණේ නෑ. අතිකාල දීමනා, ගමන් දීමනා කපා හැරලා තිබෙනවා. ලක්ෂයට වැඩි වැටුප් ලබන අයගෙන් බද්දක් අය කරනවා. ආණ්ඩුව කළේ ඔවුන්ගේ ගජ මිතුන්ගේ බදු කපලා රාජ්‍ය ආදායම උපයා ගන්න රජයේ සේවකයින්ගෙන් බදු අයකර ගන්න ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා.

ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරනවා කියලා. කීයකින්ද රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන්නේ. තුන් ගුණයකින් බඩුමිල වැඩි වෙලා තිබියදී හතර ගුණයකින් විදුලි බිල වැඩිවෙලා තිබියදී අනිත් වියදම් සියල්ල අසීමිතව වැඩි වෙලා තිබෙන අවස්ථාවක අපි ජනාධිපතිගෙන් අහනවා රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්නේ කීයකින්ද කියලා. ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරනවා කියලා කියද්දි ආණ්ඩුවේ ඉන්න ආර්ථික විශේෂඥ බන්දුල ගුණවර්ධන කියනවා බැරි මර ගාතේ ගෙවන වැටුප් වැඩි කරන්න බෑ කියලා. සමගි ජන බලවේගය විදිහට අපි අහනවා මොකක්ද රජයේ මේ ප්‍රතිපත්තිය. ජනාධිපතිවරයාට අපි කියනවා ජනතාව රවට්ටන්න එපා කියලා.

රාජ්‍ය සේවකයින් ඉල්ලන ඉල්ලීම සාධාරණයි. බොරු නොකර රාජ්‍ය සේවක වැටුප වැඩි කරන්න. රනිල් වික්‍රමසිංහ කියනවා ඔහු ඇවිත් රට ගොඩ ගත්තා ආර්ථිකය ගොඩගත්තා කියලා. ගොඩ ගත්තානම් රාජ්‍ය සේවක වැටුප වැඩි කරලා දෙන්න. රටේ උද්ධමනය අඩු වුණාට හාල් කිලෝ එක, සීනි කිලෝ එක තාම අඩු වෙලා නෑ. මේ දරාගැනීමට නොහැකි ආර්ථික පීඩනය දරා ගැනීමට නොහැකි නිසා තමයි රාජ්‍ය සේවකයින් අද පාරට බැහැලා උද්ඝෝෂණය කරන්නේ. රජයට අපි අවධාරණය කරලා කියනවා රාජ්‍ය සේවකයින්ගේ උද්ඝෝෂණවලට කඳුළු ගෑස් ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා. රජය බලන්නේ උද්ඝෝෂණ විරෝධතා කෙසේ හෝ මර්ධනය කරන්න.

රාජ්‍ය සේවකයින්ට වැටුප් දෙන්න මුදල් නෑ කියලා කියනවා. බෙහෙත්වලින්, සීනිවලින් හොරකම් කරපු මුදල්වලින් රාජ්‍ය සේවක වැටුප් ලබා දෙන්න. රාජ්‍ය සේවකයින්ට 20,000 ක වැටුප් වැඩිවීම ලබාදෙන්න රජයට වියදම් වෙන්නේ බිලියන 100 ක්. රජය විධායක නිලධාරීන්ගේ වැටුපට බදු ගහලා බිලියන 140 ක ආදායමක් එකුත කරගෙන තිබෙනවා. ඒ නිසා තමයි වෛද්‍යවරු 1200 ක්, ඉංජිනේරුවරු 600 ක්, ඇතුළු විධායක නිලධාරීන් රට දාලා යන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment