කොළඹ ඉන්ධනහල් පරීක්‍ෂාවට

103

තෙල් සංස්ථාවට අයත් පිළියන්දල සමුපකාර ඉන්ධනහලේ ප්‍රධාන පරිපථය වෙනස් කර රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා ඉන්ධන වංචාවක් හෙළිවීමෙන් පසු කොළඹ දිස්ත්‍රික්කය පුරා ඉන්ධනහල් විශේෂ පරීක්ෂණයකට භාජනය කිරීමට සංස්ථාව තීරණය කර තිබේ.

දැනට හෙළිවී තිබෙන කරුණුවලට අනුව ඉන්ධනහල්වල ඇති ප්‍රධාන පරිපථය ඕනෑම අයෙකුට වෙනස් කිරීමට හැකිව තිබීම නිසා ඉන්ධනහල්වල වංචා සිදුවන බවට මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.

පිළියන්දල සමුපකාර ඉන්ධනහලේ පොම්පකරුවෙකු හා තෙල් සංස්ථාවේ විදුලි කාර්මික ශිල්පියෙකු එක්ව මෙම විශාල වංචාව සිදුකර ඇති අතර මෙයාකාරයට අනෙක් ඉන්ධනහල් වලද ඉන්ධන වංචා සිදුකළ හැකි යැයි තෙල් සංස්ථා විශේෂ විමර්ශන නිලධාරිහු කියා සිටිති.

මෙම ඉන්ධනහල් සම්බන්ධයෙන් සංස්ථාවට ලැබුණු තොරතුරකට අනුව විශේෂ විමර්ශන නිලධාරීන් පෙරේදා (30දා) එය වටලා පරීක්ෂණයකට ලක්කර ඇත. එහිදී හෙළිවී ඇත්තේ ඉන්ධනහලේ ප්‍රධාන පරිපථයට වෙනත් පරිපථයක් සම්බන්ධ කර මෙම වංචාව සිදුකොට ඇති බවයි.

මෙම වංචාවට සම්බන්ධ තෙල් සංස්ථා විදුලි කාර්මික ශිල්පියා හා පොම්පකරු විමර්ශන නිලධාරීන් විසින් අල්ලාගෙන ඇති අතර සමුපකාර ඉන්ධනහලේ පරිපාලනය තාවකාලිකව තෙල් සංස්ථා භාරයට ගෙන ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ඉන්ධනහල් විශේෂ පරීක්ෂණයට භාජනය කිරීමට තෙල් සංස්ථාව කටයුතු යොදා ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment