පාරෙන් පැන කඩයකට කඩා වැදුණු විශ්‍රාමික මේජර් ජෙනරාල්ගේ රියට යටවී තරුණයෙක් මරුට

733

විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු විසින් පැදවූ මෝටර් රථයක් මාවනැල්ල හිඟු‍ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන එළවළු කඩයකට කඩාවැදීමෙන් එහි සේවය කළ තරුණයෙකු බරපතළ තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇතැයි මාවනැල්ල පොලිසිය පැවසීය.

අනතුරින් බරපතළ තුවාල ලබා මරණයට පත්ව ඇත්තේ උහන්ගොඩ ගෙදර චානක ලක්රුවන් නමැති 34 හැවිරිදි අංක 36, හිඟු‍ල ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකු බවත් ඔහු එම වෙළෙඳසලේ සේවය කරමින් සිටි අයෙකු බවද පොලිසිය පැවසීය.

මෝටර් රථය කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය කරමින් සිටියදී රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන එළවළු වෙළෙඳසලේ සේවය කළ තරුණයාට මාරාන්තික තුවාල සිදුකරමින් වෙළෙඳසලටද හානි සිදුකර ඒ අසල තිබූ දුරකථන කණුවක ගැටී නතර වී ඇති බවද පොලිසිය පැවසීය.

මියගිය අයගේ මළසිරුර මේ වනවිට මාවනැල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මාවනැල්ල මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇති බවද පොලිසිය පැවසීය.

අනතුරට පත් මෝටරථයේ පැදවූබව කියන මත්තේගොඩ පදිංචි 62 හැවිරිදි විශ්‍රාමික යුදහමුදා මෙජර් ජෙනරාල් වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැක කරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලිසිය පැවසීය.

කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ නියෝග මත කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශ, සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් රත්නායක, පොලිස් කොස්තාපල්වරුන් වන 80048 සංජීව, 85012 චන්ද්‍රසිරි යන නිලධාරින් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අරණායක රෝහණ ජයරත්න සහ මාවනැල්ල ජයන්ත සේනානායක

advertistmentadvertistment
advertistmentadvertistment