කරඬුවට සමුදී නිවන් මග වැඩි බෝසත් ඇත්රජාණෝ

2860

මිය යන විට රාජා අවස්ථා 13 කදී සෙංකඩගල ශ‍්‍රී දළදා කරඬුව වඩමවා තිබූ භාග්‍යවන්තයෙකි

උසින් අඩි 10 1/2 ක් පමණ වන රාජාගේ ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කරන්නේ අඩි පහමාරක් පමණ දිගු ස්වේත දළ යුගලය මගිනි

නැදුන්ගමුවේ විජය රාජාගේ සියලූ ඇප උපස්ථාන කටයුතු කරමින් ඇත්ගොව්වා ලෙස කටයුතු කරන ලද්දේ ඇතුගේ වයසට සමාන වයසක් ඇති ‘කළු අයියා‘, ‘කළු මාමා‘ නමින් හඳුන්වන ලද විල්සන් කොඩිතුවක්කු මහතා විසිනි

වන අලින් හා හීලෑ ඇතුන් ගැන කතිකාවක් නිර්මාණය වී ඇති කාලයකි මේ. සත්ත්ව අයිතීන් ගැන කතාකරන්නෝ අලින් හීලෑ කරනවාට විරුද්ධත්වය ප‍්‍රකාශ කරන අතරම හීලෑ අලි ඇතුන් පෙරහැර ඇතුළු අනෙකුත් කටයුතු සඳහා විලංගුලා රැගෙන යෑම ගැන කතාකරන්නේ එම සතුන්ගේ අයිතිවාසිකම් පැත්තේ සිට බලමිනි. සැබෑය. ඕනෑම සතෙකු තම නිදහසට කැමතිය. එනිසා වන සතුන්ගේ එම අයිතිවාසිකම් පිළිබඳව අප සිටින්නේද සතුන්ගේ පැත්තේය. පසුගිය කාලයේ සිදුවූ අලි පැටවු සොරකම් හා එම අලි පැටවුන් සඳහා සාධාරණය ඉටුකරන්නට ගත් තීන්දු තීරණ දැන් ඇත්තේ වැට උඩය. ඊට සාධාරණය ඉටුවනු කෙසේ වෙතත්, මෙම සොරකම්වලට කළ උන් දැන් නීතියේ සිදුරු තුළින් රිංගා යනු දකින්නට ලැබේ. එනිසා එම අහිංසක වන සතුන්ට ඉටුවන සාධාරණයක් පෙනෙන්නට නැත. මේ නිසා මව් මරා හෝ මව් පලවාහැර මවගේ ඇකයෙන් උදුරාගෙන වනාන්තර තුළින් සොරකමට ලක්වූ 35 කට අධික අලින් ගැන සාධාරණයක් ඉටුවනු දැක්ම අපගේ බලාපොරොත්තුවයි. ඒ ගැන විවාදයක් නැත.

නමුත් අපි ඉකුත්දා මිය ගිය නැදුන්ගමුවේ රාජා හස්තියා පිළිබඳවද අපි කතා කළ යුතු වෙමු. ඒ මෙම හීලෑ හස්තියා හුදෙක් මිනිස් ග‍්‍රහණයට නැතුව සතෙක් ලෙසම දිවි ගෙවා සතෙක් ලෙසම මිය ගිය වූවෙක් නොවන බව අප විශ්වාස කරන නිසාය. බොහෝ දෙනකු රාජා හඳුන්වනු ලැබුවේ බෝසත් පරපුරේ ඇත් රාජයකු ලෙසිනි. ඒ විශේෂයෙන්ම බෞද්ධයන්ගේ ආදර ගෞරවයට ලක්වූ නිසාය. ‘‘නැදුන්ගමුවේ රාජා”, නොහොත් ‘‘නැදුන්ගමුවේ විජය රාජා” සෙංකඩගල දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මහා පෙරහැරට නැතුවම බැරිවූ, ඒ නිසාම රටක් ලෝකයක් කතාකළ වන්දනීය තත්ත්වයෙන් සලකන ලද සත්ත්වයකුද වූ නිසාය.

කරඬුවට සමුදී නිවන් මග වැඩි බෝසත් ඇත්රජාණෝ

මිය යන විට රාජා අවස්ථා 13 කදී සෙංකඩගල ශ‍්‍රී දළදා කරඬුව වඩමවා තිබූ භාග්‍යවන්තයෙකි. ඇසළ පෙරහැර මංගල්‍යයේදී ශ‍්‍රී දළදා මාලිගාවේ කරඬුව මීට පෙර වැඩම කරවන ලද ප‍්‍රකට ඇතෙක් වූ ‘‘මාලිගාවේ රාජා” හස්තියාට පසු මේ අනුව වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩමකර ඇතිබව කියන්නේ නැදුන්ගමුවේ රාජා හස්තියා විසිනි. මාලිගාවේ රාජා හස්තියා මියයෑමෙන් පසු කරඬුව වැඩමවීමේ නිත්‍ය කාර්යය සඳහා ඉන්පසු වඩාත් සුදුසුකම් දරා සිටි සහ වඩාත් ප‍්‍රකටව සිටි ආසියාවේ දිගම දළ ඇතා ලෙස සැලකුණු කෑගල්ලේ ‘‘මිල්ලන්ගොඩ රාජා” මියයෑමෙන් පසු එම නිත්‍ය ස්ථානය හිමිකරගන්නා ලද්දේ අපේ කතා නායකයා වන මෙම නැදුන්ගමුවේ විජය රාජා නම් මේ හස්තියා විසිනි. නමුත් අප දැනගත යුත්තේ එක වසරකදී දළදා පෙරහැර පැවැත්වෙන දින කිහිපය පුරා සහ තවත් වසරවලදී වෙනත් ඇතුන් විසින්ද දළදා කරඬුව වැඩම කරවන ලද බවය.

කරඬුවට සමුදී නිවන් මග වැඩි බෝසත් ඇත්රජාණෝ

මේ අනුව ජාතියේ මහානර්ඝ සම්පතක් ලෙස සැලකූ, ආදර ගෞරවයට ලක්වූ නැදුන්ගමුවේ විජය රාජා හස්තිරාජයා (07දා) අලූයම හදිසියේ මිය ගියේ බොහෝ දෙනාගේ නෙතට කඳුළක් උපදවමිනි. තම නිවහන ලෙස වසර 50 ක් පමණ කාලයක් දිවි ගෙවූ ගම්පහ, රතුපස්වල, නැදුන්ගමුව පිහිටි හර්ෂවිජය වෙද නිවසේ ඇත්ගාලේදී සිටියදී ඇතා හදිසියේ මිය ගියේය. මිය යන විට 69 වියේ පසුවූ නැදුන්ගමුවේ රාජා, නොහොත් නැදුන්ගමුවේ විජය රාජා සෙංකඩගල ශ‍්‍රී දළදා පෙරහැරේ සධාතුක කරඩුව වැඩමකරවමින් ජාතියේත්, ජාත්‍යන්තරයේත් ගරු බුහුමනට පාත‍්‍ර වූ ඉතා දුලභ ගණයේ ඇතෙකි. පසුගිය කාලය පුරා මහනුවර ඇසළ පෙරහැරේ ප‍්‍රධාන කරඬුව දරන්නා වූ නැදුන්ගමුවේ රාජා, මරණයෙන් පසු ජාතික වස්තුවක් ලෙස නම් කර ඇති නමුත් හේ ජීවමානව සිටියදීම ජාතික සම්පතක් ලෙස මේ රටේ ජනයා සැලකූ බවද සඳහන් කරනු වටී. එසේ සිතා සංරක්ෂණය කරන ලද ඇතෙක් වූ නැදුන්ගමුව, හමුදා ආරක්ෂාව යටතේ ගමන් බිමන් සිදුකළ ලොව එකම (හීලෑ) හස්තියා ලෙසද ප‍්‍රකටව සිටියේය. කලක් රෝගාතුරව සිටි නැදුන්ගමුවේ රාජා හස්තියා 2018 වසරේ කරඬුව වැඩමෙව්වාට පසු වසර දෙකක් එම කාර්යයට සම්බන්ධ නොවූයේ 2019 වසරේ පාස්කු දින ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා පෙරහැර නොපැවතීමත්, 2020 වසරේදී කොවිඞ් වසංගතය නිසා පෙරහැර නොපැවතීමත් නිසාය. නමුත් 2021 වසරේදී නැදුන්ගමුව සුපුරුදු පරිදි දළදා හාමුදුරුවන් වෙනුවෙන් තම උත්තුංග පරිත්‍යාගය සිදුකළේය. එනම් අවසන් වතාවටත් ශ‍්‍රී දළදා කරඬුව වැඩම කරවීම සිදුකළේය.

කරඬුවට සමුදී නිවන් මග වැඩි බෝසත් ඇත්රජාණෝ

සද්ධන්ත කුලයේ මංගල හස්තියකු ලෙස සැලකෙන නැදුන්ගමුවේ රාජා ඉතා විනයවත් හා ඉවසීම ප‍්‍රගුණ කළ, ආගමික භක්තිය ඉතා හොඳින් ප‍්‍රදර්ශනය කළ වඩාත් හීලෑ හස්තියකු ලෙස සැලකේ. එනමුත් තමාව බලා කියා ගත් කළු මාමා හැරෙන්නට වෙනත් ඇත්ගොව්වන්ගේ ඇසුර හේ ප‍්‍රිය නොකළේය. වෙනත් අයවළුන් සත්කාර කළේද කළු මාමා ළඟ සිටියහොත් පමණි. පසුගිය වසරේදී දළදා කරඬුව දරාගෙන දළදා මාලිගාවේ පියගැට පෙළ බැස එන අවස්ථාවේදී හැකිළී තිබූ පාවඩය සිය හොඬවැලෙන් නිවැරදිව සකසා ගනිමින් ඒ මතින් බැස පැමිණීමේ දර්ශනය ජාත්‍යන්තරයේ පවා ප‍්‍රකට විය. හේ එතරම්ම නුවණකින් සමන්විත වූවෙකි.

1953 වසරේදී උපන්නේ යැයි කියන නැදුන්ගමුවේ රාජා මෙරටට ලැබී ඇත්තේ ඉන්දියාවෙන් ලද පරිත්‍යාගයක් ලෙසිනි. ඒ මහාරාජා පරම්පරාවකිනි. පිළියන්දල නීලම්මහර වෙද හාමුදුරුවන්ගෙන් ඉතා දරුණු රෝගයකට ප‍්‍රතිකාර ලබාගත් ඉන්දියාවේ මනිපූර් ප‍්‍රදේශයේ විසූ මහාරාජා පරම්පරාවේ අයකුට වැළඳුණු එම රෝගය සුවපත් කිරීම සිදුකර ඇත්තේ නීලම්මහර වෙද හාමුදුරුවන් විසිනි. ඒ නිමිත්තෙන් මෙම ‘විජය රාජා’ හා කොළඹ ගංගාරාමයේ විසූ ‘නවම් රාජා‘ යන ඇත් පැටවුන් දෙදෙනා 1960 දශකයේදී වෙද හිමියන්ට තුටු පඳුරක් සේ මහාරාජාවරුන්ගෙන් ඉන්දියාවෙන් ලැබී ඇති අතර, පසුව සම්මානනීය වෙදැදුරු පී. ඞී. පී ධර්මවිජය මහතා විසින් නීලම්මහර හිමියන්ගෙන් විජය රාජා මිලදී ගෙන ගම්පහ, රතුපස්වල, නැදුන්ගමුවට රැගෙන විත් තිබේ. නවම් රාජා ලබාගෙන ඇත්තේ කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයටය.

එම වෙද මහතා මිය යනතුරුම තවත් හස්තීන් කිහිප දෙනකු සමග නැදුන්ගමුව වෙද ගෙදර දිවි ගෙවූ නැදුන්ගමුවේ රාජා, ඉන්පසු භාර වූයේ ධර්මවිජය වෙද රාළහාමිගේ පුත් ආයුර්වේද වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතාටය.

අවුරුදු පහක් තරම් වූ කුඩා වයසේදී ශ‍්‍රී ලංකාවට රැගෙන ආ නැදුන්ගමුවේ රාජා 2006 වසරේ සිට මහනුවර ශ‍්‍රී දළදා මාලිගා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙසින් ගෞරවයට පාත‍්‍රවෙමිනි. එසේම, ගම්පහ ප‍්‍රදේශය ඇතුළු දිවයිනේ ප‍්‍රකට පෙරහැර රැසක කරඬුව වැඩමවාගෙන එන කාර්යය සිදුකරනු ලැබුවේ මෙම විජය රාජා හස්තියා විසිනි.

කරඬුවට සමුදී නිවන් මග වැඩි බෝසත් ඇත්රජාණෝ

උසින් අඩි 10 1/2 ක් පමණ වන රාජාගේ ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කරන්නේ අඩි පහමාරක් පමණ දිගු ස්වේත දළ යුගලය මගිනි. නැදුන්ගමුව හස්තියා මෙපමණ උස සත්වයකු බව හඳුනාගෙන ඇත්තේ 2006 වසරේදී දළදා මාලිගා පරිශ‍්‍රයේදී කරඬුව පිට මත ගැටගැසූ අවස්ථාවේදීය. අනතුරුව කරඬුව මාළිගාවෙන් පිටතට ගැනීම සඳහා වහළයේ උළු කැට කිහිපයක් ඉවත් කරන්නට සිදුවූ බව කියනු ලැබේ. නැදුන්ගමුවේ සිට සෙංකඩගල ඇසළ පෙරහැරට සහභාගි වී නැවත පැමිණීම දක්වා පමණක් එක වර්ෂයකදී රාජා කිලෝ මීටර 200 කට ආසන්න දුරක් ඇවිද ගිය අතර අනෙකුත් පෙරහැර කටයුතුද ඇතුළුව සියලූම ගමන් සිදුකරන ලද්දේ පාගමනෙනි. එසේ මහනුවරට යන ගමන දින 10 කට පමණ දිගු වන අතර, නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙණේ ගතකරන පළමු දින රාත‍්‍රිය ඇතුළුව සෑම වසරකම රාජා නවාතැන් ගත්තේ නිශ්චිත වාසස්ථානයකය. ඒ පන්සල්, පිරිවෙන් හා වලව් තුළය. ඒ ආරක්ෂාව සහ පහසුකම් ලබාදීමේ පහසුව අනුවය. ඒ සියලූ කටයුතු අධීක්ෂණය කරන ලද්දේ හාම්පුතු හර්ෂ ධර්මවිජය වෙද රාළහාමි විසිනි. ඔහු සහ පවුලේ සැම පරම්පරාවෙන් තමන්ට ලද මේ උරුමය ඉතා හොඳින් ආරක්ෂා කළ අතර, දැඩිව මෙම සත්වයාට ආදරය කළ බව අපි අත්දැකීමෙන් දනිමු. සෑම වසරකම ඇතා මහනුවර පෙරහැරට ගියේ ආගමික වතාවත් මැදය. ඒ අවට විහාරස්ථානවල හිමිවරුන් පැමිණ පිරිත් දේශනා කර, පිරිත් පැනෙන් නහවා, පිරිත් නූල් බැඳ, හකුරු, පලතුරු අනුභව කිරීමෙන් අනතුරුවය. හර්ෂ විජය වෙද රාළහාමි මේ සියලූ කටයුතු තම අතින්ම සිදුකර, ඇතාට සමුදෙන්නේ ඉන්පසු භාරකාරයා බවට පත්වන කළු මාමා, නොහොත් කළු අයියා සමග හමුදාවට ඇතු භාර කරමිනි. ඇතුගේ ශරීර ප‍්‍රමාණය හා දළ පිහිටීම අනුව ඇතුගේ ආරක්ෂාව පිණිසම මෙසේ පාගමනින් ගමන් කරවීම සිදුකරන ලද බව ඇතුගේ හාම්පුතු හර්ෂ ධර්මවිජය වෙද රාළහාමි ප‍්‍රකාශ කරයි. නමුත් මෙසේ යන ගමනක් අතරතුරදී සිදුවූ වාහන අනතුරකින් පසු එතැන් පටන් රාජාට හමුදා ආරක්ෂාව ලබාදෙන්නට රාජ්‍ය නායකත්වය තීන්දු කරන ලද අතර, ඇතු මිය යන තුරාම ගමන්වලදී එම ආරක්ෂාව ලබාදෙන ලදී.

කරඬුවට සමුදී නිවන් මග වැඩි බෝසත් ඇත්රජාණෝ

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ කරඬුව වැඩමවීමේ මහඟු භාග්‍ය හිමිකරගත් නැදුන්ගමුවේ හස්තිරාජයා විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාවට භාජන වෙමින් ඒ ආකාරයෙන් රැකවරණයක් ලැබූ ලොව එකම හස්තියා බවට පත්වූයේ ඒ ආකාරයෙනි.

පනස් වසරකට අධික කාලයක් සිය වගකීම් සහ ආවතේව දළදා වහන්සේ වෙනුවෙන් ඉටුකළ නැදුන්ගමුවේ විජය රාජාගේ සියලූ ඇප උපස්ථාන කටයුතු කරමින් ඇත්ගොව්වා ලෙස කටයුතු කරන ලද්දේ ඇතුගේ වයසට සමාන වයසක් ඇති ‘කළු අයියා‘, ‘කළු මාමා‘ නමින් හඳුන්වන ලද විල්සන් කොඩිතුවක්කු මහතා විසිනි. ඇතු නැදුන්ගමුවට පැමිණ තම ජීවිතකාලය පුරා ඇවිද ගොස් ඇත්තේ කොපමණ දුරද, ඒ දුරට සමාන දුරක් කළු අයියාද ඇවිද ගොස් ඇත්තේ ඇතු හා පැවති සංසාරගත බැඳීම ප‍්‍රකට කරමිනි.

දිවිගමනට සමුදෙන විට නැදුන්ගමුවේ හස්ති රාජයාට අවුරුදු 69 ක් වූ අතර, බැතිමතුන්ගේ සහ දෙස් විදෙස් සංචාරකයන්ගේ ද නොමද ගෞරවයට මෙන්ම ආදරයට පාත‍්‍ර වූ මෙරට සිටි දැවැන්තම ‘හස්ති සලකුණ’ වූයේ නැදුන්ගමුවේ රාජාය. මියගිය රාජා හස්තියා ජාතික වස්තුවක් බවට නම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති අතර, හස්තියාගේ රුව මාලිගාවේ රාජාගේ රුව මෙන් අනාගත පරපුරට දැක බලාගැනීම සඳහා සංරක්ෂණයට පියවර ගෙන ඇත. කෙසේ හෝ භාරතයේ ඉපිද, ලංකාවට පැමිණ, ලංකාවේ ඉපදුණු, මාලිගාවේ රාජා සහ මිල්ලන්ගොඩ රාජා තරම්ම දළදා වහන්සේට තම පුද සත්කාරය සිදුකළ නැදුන්ගමුව රාජා දැන් අවසන් ගමන් ගොසිනි. මෙවර දළදා ඇසළ පෙරහැරේදී නැදුන්ගමුවේගේ නම නොකියවෙන අතර ඒ අඩුව තදින් දැනෙනු නොඅනුමානය.

කරඬුවට සමුදී නිවන් මග වැඩි බෝසත් ඇත්රජාණෝ

ජගත් කණහැරආරච්චි
ඡායාරූප –
සඳුන් කණහැරආරච්චි, කමල් බෝගොඩ සහ අන්තර්ජාලයෙන්

advertistmentadvertistment
advertistmentadvertistment