රනිල්ගේ පෙත්සම සලකා බැලීම මාර්තු 30 දා

163

පසුගිය රජය සමයේ සිදුවූයේ යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් තමන් සම්බන්ධයෙන් ලබාදී ඇති අවසන් නිර්දේශ බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර ඇති රිට් ආඥා පෙත්සම් සලකාබැලීම සඳහා ලබන මාර්තු 30 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (28 දා) නියෝග කළේය.

එම රිට් ආඥා පෙත්සම් නිශ්ශංක බන්දුල කරුණාරත්න, ලෆාර් තාහීර් හා වී. එම්. සමරකෝන් යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි. තමා අගමැති ලෙස කටයුතු කළ යහපාලන රජය සමයේ ක‍්‍රියාත්මක වූ දූෂණ මර්දන ලේකම් කාර්යාලය සිදුකළ පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව විසින් විමර්ශනය කර ඇති බවත් එකී පැමිණිලිවලට තමන් ද වගකිව යුතු බවට එම කොමිෂන් සභාව අවසන් වාර්තාව මගින් නිර්දේශ කර ඇති බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා එමගින් අධිකරණයට සඳහන් කර තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ජනක බණ්ඩාර යන මහත්වරුන් පිරිසක්ද එම ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා පෙත්සම් ගොනුකර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment