2024 හිතුවක්කාර මහල්ලන්ගේ සටන

504

● 2024 දී ට්‍රම්ප් සුළඟක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට නැවතත් ලෝකයේ අංක එකේ පුවත් මවන්නා බවට පත් වී ඇත. වර්තමාන ජනාධිපති ජෝ බයිඩන් 2024 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස නැවතත් තරග කරන බව දැනටමත් ප්‍රකාශ වී ඇත. ඔහුට එරෙහි ප්‍රධානතම ප්‍රතිවාදියා ඉදිරිපත් වන්නේ රිපබ්ලිකන් පක්ෂයෙනි. එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි තවමත් නිල වශයෙන් තහවුරු වී නැතත් කරුණු පෙළ ගැහෙනා ආකාරයට ට්‍රම්ප් මහතාට ඒ අවස්ථාව හිමිවන බව පෙනෙන්නට තිබේ. වර්තමාන මත විමසුම් අනුව අනෙකුත් රිපබ්ලිකන් අපේක්ෂකයන්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි ලෙස ඉදිරියෙන් සිටී. ඒ අනුව බොහෝ දුරට 2024 ජනාධිපතිවරණය නැවතත් බයිඩන් – ට්‍රම්ප් සටනක් නොහොත් “හිතුවක්කාර මහල්ලන්ගේ සටනක්” වනු ඇත.

සම්ප්‍රදායානුකූලව හා ව්‍යවස්ථානුකූලව පළමු ධුර කාලයකට මැතිවරණයකින් තේරී පත් වන ඇමෙරිකානු ජනාධිපතිවරයකුට නැවතත් සිය දෙවන ධූර කාලය සඳහා තරග කළ හැක. බයිඩන් මහතා තරගයට ඉදිරිපත් වන්නේ එකී ක්‍රමවේදය අනුවය. ඩොනල්ඩ් ට්‍රම්ප් බයිඩන්ට පරාජය වී සිය පළමු ධුර කාලයෙන් පසු ගෙදර ගියේය. ඇමෙරිකානු ඉතිහාසයේ පැවති උණුසුම්ම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිගැනීමට පවා ට්‍රම්ප් මහතා මැළිවිය. පැවති සම්ප්‍රදාය කඩ කරමින් ඔහු ධවල මන්දිරයෙන් පිටව ගියේ නව ජනාධිපතිවරයාගේ මුහුණවත් නොබලා පිට පාරෙන් ය. ඊට අමතරව ට්‍රම්ප්ගේ පරාජය පිළිනොගත් ඔහුගේ ආධාරකරුවන් පිරිසක් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානය වූ කැපිටල් හිල් ගොඩනැඟිල්ලේ දහ අට සන්නියක් නැටුවෝය. එකී සිදුවීම ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් ලෙස ඉතිහාසයට එක් විය.

● දැන් සැපද?

ජනාධිපතිවරණ සමය තුළ කුමන කෝන්තර ඇති කර ගත්තත් සාමාන්‍යයෙන් ධූරය හැර ගිය ඇමෙරිකානු ජනාධිපතිවරුන් නැවතත් “දැන් සැපද” අහන්නට වොෂින්ටනයට පැමිණෙන්නේ නැත. බරැක් ඔබාමා පොත් ලියමින්, දේශන සඳහා සහභාගි වෙමින් නිදහසේ ජීවත් වෙයි. වඩාත් ආන්දෝලනාත්මක කාලයක ජනාධිපති ධුරය දැරූ ජෝර්ජ් ඩබ්. බුෂ් ටෙක්සාස් ප්‍රාන්තයේ ඈත පිටිසර පිහිටි තම ගොවිපළට වී නිවි සැනසිල්ලේ කාලය ගත කරයි. තම බිරිඳ ප්‍රධාන පෙළේ ඩිමොක්‍රටික් නායිකාවක වුව ද බිල් ක්ලින්ටන් ඇයගේ දේශපාලනය හා සම්බන්ධ වන්නේ නැත. ක්ලින්ටන්ට පරාජය වූ ජ්‍යෙෂ්ඨ ජෝජ් බුෂ් ගෙදර ගියේ අභිනව ජනාධිපතිවරයාට සුබ පතා ලිපියක් ලියා තබමිනි. ක්ලින්ටන් ඒ ලිපිය දුටුවේ හිටපු ජනාධිපතිවරයාට සමු දී ජනාධිපතිවරයාගේ නිල මේසය පිහිටි ඕවල් කාමරයට පැමිණි පසුවය. ඒ ලිපිය දුටු ක්ලින්ටන් මහතා බොහෝ සෙයින් සංවේදී වූ බව පැවසේ. ඉන් පසුව ඒ මිත්‍රශීලී සාම්ප්‍රදාය ක්ලින්ටන්ගෙන් කණිෂ්ඨ බුෂ්ටත්, බුෂ්ගෙන් ඔබාමාටත්, ඔබාමාගෙන් ට්‍රම්ප්ටත් හුවමාරු විය. නමුත් බයිඩන් ධවල මන්දිරයට පැමිණීමට පෙර ට්‍රම්ප් හෙලිකොප්ටර් යානයේ නැඟී පිටව ගියේ දෙදෙනා අතර විරසකය තවත් උග්‍ර කරමිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තම වාඩුව ගැනීමට සැලසුම් ඇන්දේ ධවල මන්දිරයෙන් පිටව ගිය දිනයේ සිටම ය. ඔහු නැවත කරළියට එන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ට්‍රම්ප් ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ තම ප්‍රචාරණ ව්‍යාපාරය නිල වශයෙන් ආරම්හ කළේ 2022 නොවැම්බර් 22 දින ය. ඒ ෆ්ලොරිඩාවේ පිහිටි තම වතුයායේදී ආධාරකරුවන් ඉදිරියේ පැයක කතාවක් පවත්වමිනි. “ඇමෙරිකාව නැවත ගොඩනඟමු (Make America Great Again)” නමින් වූ තම සුපුරුදු ආදර්ශ පාඨයම නැවත කරළියට ගෙන ඒමට ට්‍රම්ප් මහතා කටයුතු කර ඇත. ඔහු ජනාධිපතිවරණයෙන් ජයගත හොත් ඇමෙරිකාවේ බොහෝ දේශපාලන වාර්තා අලුතින් ලියන්නට සිදුවනු ඇත. ට්‍රම්ප් හා බයිඩන් දෙදෙනාගෙන් කවුරු ජය ගත්තත් ඔහු මෙතෙක් ඇමෙරිකාවේ බිහි වූ වයස්ගතම ජනාධිපතිවරයා වනු ඇත. 2024 දී ට්‍රම්ප්ගේ වයස අවුරුදු 78 ක් වන අතර බයිඩන්ගේ වයස 82 කි. තවද ට්‍රම්ප් මහතා ජයග්‍රහණය කළ හොත් ඔහු 1892 දී ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්ගෙන් පසුව බිහිවන “පරාජය වී නැවත පැමිණෙන” පළමු ජනාධිපතිවරයා බවට පත් වනු ඇත.

● කිසි දිනක යටත් නොවන්න

මුල් අවස්ථාවේම ට්‍රම්ප් මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා පුළුල් මාධ්‍ය ආවරණයක් ලැබුණි. ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සැලකුවේ ට්‍රම්ප් යනු ලෙහෙසියෙන්ම පරාජය කළ හැකි රිපබ්ලිකන් අපේක්ෂකයකු ලෙස ය. ට්‍රම්ප් හිතවාදී හා සුදු අන්තවාදී අදහස් දරන අති විශාල ජනතාවක් දැන් ඇමෙරිකාවේ ජීවත් වෙති. ඔවුහු ට්‍රම්ප්ගේ පුනරාගමනය හිස මුදුනෙන්ම පිළිගත්හ. කෙසේ නමුත් මේ වන විටත් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය පිළිබඳව ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් පමණක් නොව බොහෝ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් පවා සෘණාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතී. ට්‍රම්ප්ගේ දේශපාලනය නිසා ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ඉරිතලා යන බව ඔවුන්ගේ හැඟීමයි.

ප්‍රචාරණය සෘණාත්මක වුවද ධනාත්මක වුවද එය තමන්ට ආශිර්වාදයක් කර ගැනීමට මනා ව්‍යාපාරික ඥානයක් සහිත ට්‍රම්ප් දක්ෂය. ඒ බව මේ වන විට තහවුරු වෙමින් පවතී. තමන්ට එරෙහිව එක පිට එක චෝදනා එල්ල වෙද්දී පවා ඔහු ඒවා සියල්ල තම වාසියට හරවා ගෙන ඇති බව පෙනේ. ට්‍රම්ප් යනු සාම්ප්‍රදායික ඇමෙරිකානු දේශපාලනඥයකු නොවේ. 2020 ජනාධිපතිවරණයේදී ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද ප්‍රතිඵල වෙනස් කිරීම සඳහා බලපෑම් කිරීම ඇතුළු චෝදනා රැසක් ඔහුට විරුද්ධව එල්ල වී තිබේ. අවසානයේ ඔහුට ප්‍රාන්ත අධිකරණයට භාර වීමට සිදුවිය. අධිකරණය වෙත ට්‍රම්ප් මහතා පැමිණියේ ධූරය දරන ජනාධිපතිවරයකු පවා භාවිතා නොකරන මට්ටමේ අතිවිශාල රථ පෙළපාලියකිනි. ඉන් පසුව ඔහුව ෆුල්ටන් බන්ධනාගාරයට රැගෙන යන ලදි. බන්ධනාගාරය අවට ට්‍රම්ප් හිතවාදීන් විශාල පිරිසක් රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනා මත අත්අඩංගුවට පත් වූ සිවු වැනි අවස්ථාව වන අතර ඔහුට පොලිස් වාර්තා සඳහා ඡායාරූපයකට පෙනී සිටීමට සිදු විය. ඇමෙරිකානු ඉතිහාසයේ ජනාධිපති ධූරය දැරූ පුද්ගලයකු පොලිස් වාර්තා සඳහා ඡායාරූපයකට පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි. මිනිත්තු 20 ක කාලයක් බන්ධනාගාරගත වී සිටි ට්‍රම්ප් ඩොලර් ලක්ෂ දෙකක ඇපයක් මත නිදහස් වූ අතර ඉදිරියේදී එම නඩු විභාගයට මුහුණ දීමට නියමිතය.

ට්‍රම්ප්ගේ ඡායාරූපය සහ තොරතුරු වහාම බන්ධනාගාරයේ නිල වෙබ් අඩවියට ද මුදාහැර තිබිණි. එහි සඳහන් චූදිතයාගේ විස්තර අනුව ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් අඩි 6කුත් අඟල් 3ක් උසැති සුදු පැහැති පිරිමි පුද්ගලයෙකි. බර කිලෝග්‍රෑම් 97කි. නිල් ඇස් සහිත දුඹුරු හෝ ස්ට්‍රෝබෙරි පැහැයට හුරු හිසකෙස් ලෙස ඔහුගේ ශරීර ලක්ෂණ දක්වා තිබුණි. රැඳවුම් අංකය ඡ01135809 ලෙස සටහන් වී තිබිණි.

තම සිරකරු ඡායාරූපය (Mug shot) භාවිතා කරමින් මැතිවරණ ව්‍යාපාරය සඳහා වාර්තාගත ලෙස අරමුදල් රැස්කිරීමට ට්‍රම්ප් මහතාට හැකි විය. පළමු දින පමණක් ඩොලර් මිලියන 4.18ක් හා පළමු සතිය තුළ ඩොලර් මිලියන 20ක් රැස් කිරීමට ප්‍රචාරණ ව්‍යාපෘතියට හැකි විය. ඡායාරූපය සහිත ටී ෂර්ට්, පෝස්ටර, ස්ටිකර් ආදිය අන්තර්ජාලය හරහා උණු කැවුම් මෙන් විකිණෙන්නට විය. බොහෝ අයිතමයන් අලෙවි වන්නේ “කිසිදිනක යටත් නොවන්න! (Never Surrender!)” යන ආදර්ශ පාඨය සහිතවයි. තමන්ට එරෙහිව පවතින නඩු සියල්ල දේශපාලන පලිගැනීම් බවත් තමන් කිසිදු වරදක් කර නොමැති බවත් ට්‍රම්ප් මහතා පුන පුනා පවසයි. එසේම එල්ල වන ඕනෑම චෝදනාවකින් විශාල වාසියක් ලබා ගැනීමේ සැලසුම් සහගත සෘණාත්මක ප්‍රචාරණයක් ඔහු විසින් ක්‍රියාත්මක කර ඇති බව දැන් පැහැදිලිය.

● එක පිට එක නඩු කන්දක්

මේ අතර 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට උත්සාහ කළ බවට ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇති අපරාධ නඩු දෙකක් සම්බන්ධයෙන් අධිකරණය දින නියම කර තිබේ. ජෝර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වූ නඩුව සැප්තැම්බර් 6 දාට කැඳවා ඇත. එකී නඩුකරය අනුව ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීමට ගත් උත්සාහයන් සම්බන්ධයෙන් චෝදනා 41 ක් ට්‍රම්ප් සහ තවත් 18 දෙනකුට එරෙහිව ගොනු කර ඇත. අවසන් ඡන්ද ප්‍රතිඵලය තමන්ට අවාසි සහගත වෙද්දී “ඡන්ද 11,780ක් සොයා ගන්න” යි ප්‍රාන්තයේ ප්‍රධාන මැතිවරණ නිලධාරියාගෙන් ඉල්ලා සිටින දුරකථන ඇමතුමක් අනාවරණය වීම නිසා මෙම විමර්ශනය ආරම්භ විය.

මීට අමතරව ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසුව එය ආපසු හැරවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වී ඇත. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා ඇමෙරිකානු කොන්ග්‍රසය හෙවත් පාර්ලිමේන්තුව 2021 ජනවාරි 6 දින වොෂින්ටන්හි කැපිටල් හිල් ගොඩනැඟිල්ලේ රැස්වෙමින් සිටියදී ඇති වූ කෝලාහලය ඇතුළුව තවත් සිදුවීම් ගණනාවක් මේ නඩුවට විෂය වී ඇත. පිටු 45 කින් යුත් අධිචෝදනා පත්‍රයේ එක්සත් ජනපදයට වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම, නිල ක්‍රියාවලියට බාධා කිරීමට කුමන්ත්‍රණය කිරීම ආදී වශයෙන් චෝදනා 4ක් ගොනු කර ඇත. මෙම නඩුව 2024 මාර්තු මස 6 දින ආරම්භ කිරීමට නියමිත අතර අදාළ දිනය සම්බන්ධයෙන් ට්‍රම්ප් මහතාගේ නීතිඥයන් මේ වන විට දැඩිව විරෝධය ප්‍රකාශ කොට ඇත. නඩු පවරන්නන්ගෙන් ලැබුණු ලිපි ලේඛන පිටු මිලියන 11 කට අධික ප්‍රමාණයක් සමාලෝචනය කිරීමට අවශ්‍ය බව පවසන හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන්, 2024 මැතිවරණයෙන් වසරකටවත් පසුව එනම් 2026 අප්‍රේල් මාසයේ දී නඩු විභාගය ආරම්භ කරන ලෙස ඉල්ලා තිබුණි. කෙසේ නමුත් වොෂින්ටනයේ ෆෙඩරල් විනිසුරුවරිය මීට එකඟ වී නැත. තමන්ට අයත් Truth මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ට්‍රම්ප් මහතා චෝදනා කරන්නේ තමන්ගේ නියත ජයග්‍රහණය වැළැක්වීමට ජනාධිපතිවරයා හා ෆෙඩරල් නීති දෙපාර්තමේන්තුව කුමන්ත්‍රණය කරන බවයි. මෙම නඩුව ආරම්භ වීමට නියම කර ඇති දිනයට පසු දිනය රිපබිලිකන් පක්ෂයට තීරණාත්මක දිනයකි. “සුපිරි අඟහරුවාදා” ලෙස හඳුන්වා ඇති මෙදින එක්සත් ජනපදයේ ප්‍රාන්ත දුසිමකට වඩා වැඩි ප්‍රමාණයක වාසය කරන රිපබ්ලිකන් පාක්ෂිකයන් ඔවුන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කිරීමට ඡන්ද විමසීම් පවත්වනු ඇත. රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වයට තවත් ප්‍රබලයන් කිහිප දෙනකු තරග වැදීමට නියමිතව ඇත. මේ නිසා අපරාධ නඩුවේ චෝදනාවන්හි උණුසුම සමඟම රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා තේරීම තමන්ට අවාසි සහගත ලෙස බලපානු ඇති බව ට්‍රම්ප්ගේ මතය වී ඇත.

මීට අමතරව රහසිගත තොරතුරු සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා 40කට ද තම පළමු උපාධියේ පාඨමාලා පිළිබඳ විස්තර ව්‍යාජ ලෙස සකස් කිරීමේ අපරාධ චෝදනා 34කට ද හිටපු ජනාධිපතිවරයා මුහුණ දී තිබේ. තව ද 2016 මැතිවරණයට පෙර යම් දිනයක නිල් චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් සමඟ පැවැත්වූ අනාචාර සබඳතාවක් හෙළි නොකිරීම සඳහා ඇයට ඩොලර් 130,000 ක මුදලක් ලබා දුන් බවට තවත් නඩුවක් නිව්යෝක්හි ගොනු වී ඇත. එවැනි ගෙවීමක් නීති විරෝධී නැත. නමුත් ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයකට යමෙකුගෙන් උපකාරයක් ඉල්ලා ඒ සඳහා මුදල් ගෙවීමක් කළ හොත් එය හෙළි කළ යුතුය.

● අනෙකුත් රිපබ්ලිකන් අපේක්ෂකයන්

ට්‍රම්ප් විරෝධී ප්‍රධානතම මාධ්‍ය ජාලයක් වූ CNN විසින් සිදුකරන ලද නිර්පාක්ෂික ජාතික සමීක්ෂණ හතරක් මඟින් ද රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක සටනින් ට්‍රම්ප් මහතා ඉදිරියෙන් සිටියි. කෙසේ වුවත් බරපතළ නීතිමය බාධාවන් රැසකට මුහුණ දී ඇති ට්‍රම්ප්ට ඒ සියල්ල අභිබවා ගොස් මැතිවරණයට මුහුණ දීම සැබැවින්ම අභියෝගයකි. බොහෝ මාධ්‍යයන්ට අනුව රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක සටනේ ට්‍රම්ප්ට අමතරව තවත් මුහුණු කිහිපයක් ඉදිරියෙන් පෙනෙන්නට තිබේ.

එයිනුත් ඉදිරියෙන්ම ඇත්තේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ආණ්ඩුකාර රොස් ඩී සැන්ටිස් ය. ඔහු කොන්ග්‍රස් සභිකයකු ලෙස ජනාධිපති ට්‍රම්ප් වෙනුවෙන් දැඩිව පෙනී සිටියත් දැන් රිපබ්ලිකන් අපේක්ෂකත්වය සඳහා ට්‍රම්ප් සමග තියුණු වාග් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටියි. තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයකු වූ විවේක් රාමස්වාමි ද ජනාධිපති අපේක්ෂකත්වය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වීමට තීරණය කර ඇත. රාමස්වාමි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ යුවළකට දාව උපන් දරුවකු වන අතර මේ වන විට 38 වියෙහි පසු වේ. රිපබ්ලිකන් ජනාධිපතිවරණ සටනේ ලාබාලතම අපේක්ෂකයා ඔහුය. ඊට අමතරව හිටපු උප ජනාධිපති මයික් පෙන්ස්, දකුණු කැරොලිනා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර නිකී හෙලී සහ එකී ප්‍රාන්තයම නියෝජනය කරන කළු ජාතික සෙනෙට් සභිකයකු වූ ටිම් ස්කොට් ද ට්‍රම්ප්ට කරට කර තරගයක් දෙමින් ඉදිරියෙන්ම සිටිති.

● ට්‍රම්ප්ට වැඩි වාසි

කෙසේ නමුත් අභ්‍යන්තර කාරණා මෙන්ම ලෝක භූ දේශපාලන කාරණා ද පෙළ ගැසෙන්නේ ට්‍රම්ප් මහතාට වාසිදායක වන ආකාරයට යි. ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශ කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ බයිඩන් විසින් ආරම්භ කිරීමට උත්සාහ දරන තුන් වන ලෝක යුද්ධයට තමන් විසින් තිත තබන බවයි. රුසියානු ජනාධිපති පුටින් සමඟ සාකච්ඡා කොට රුසියානු – යුක්‍රේන යුද්ධය පැය 24න් නැවැත්වීමට තමන්ට හැකි බව ඔහු විශ්වාසයෙන් පවසයි. එසේම රුසියාව, චීනය, උතුරු කොරියාව හා ඉරානය එකම සන්ධානයකට පැමිණීමට ඉඩ දී බයිඩන් මහතා දැවැන්ත සතුරු බලවේගයක් නිර්මාණය කර ගෙන ඇති බව ට්‍රම්ප්ගේ තවත් චෝදනාවකි. තමන්ට මේ සියලුම රාජ්‍යයන් සමඟ මිත්‍රශීලී ප්‍රවේශයකින් කටයුතු කළ හැකි බව ඔහු පවසයි. වසර දෙසීයකට වැඩි කාලයක් තිස්සේ ඇමෙරිකානු ඩොලරයට හිමිව තිබූ ප්‍රමුඛස්ථානය බයිඩන් යුගයේදී වේගයෙන් ඉවත්ව යමින් ඇති බව තවත් චෝදනාවකි. එසේම තමන් බලයට පැමිණි පසු ඇමෙරිකාවේ වෙසෙන අනවසර සංක්‍රමණිකයන් වහාම ඉවත් කරන බව මැතිවරණ පොරොන්දුවක් දෙමින් ඔහු පවසා ඇත. තමන්ගේ යුගයේදී ඇමෙරිකාව විසින් සිදුකරනු ලබන දැවැන්තම පිටුවහල් කිරීමේ ක්‍රියාන්විතය ආරම්භ කරන බව තම ෆ්ලොරීඩා වතුයායේ පැවති පළමු ප්‍රචාරක රැස්වීමේදී ට්‍රම්ප් පැවසුවේ ආධාරකරුවන්ගේ අත්පොළසන් නාදයක් මැදිනි.

කේන්දර හා ග්‍රහලෝක පිහිටීම අනුව ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන අනාවැකි කීමක් දක්නට නොලැබේ. මත විමසුම්, සමීක්ෂණ හා දත්ත විශ්ලේෂණය කිරීම මඟින් නිකුත් වන අනාවැකි වුව ද වෙනස් විය හැක. කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිතිවරණය සඳහා කොක්කෙන් හෝ කෙක්කෙන් ඉදිරිපත් වන බව නම් කිව හැකිය. බොහෝ විට රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා ඔහුම විය හැක. රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය ගිලිහුණ හොත් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ට්‍රම්ප්ගේ පාර්ශ්වයෙන් දැනටමත් ප්‍රකාශ වී ඇත. අතිවිශාල අනුගාමිකයන් ප්‍රමාණයක් සහිත ඇමෙරිකානු ජනප්‍රිය ප්‍රවාහයේ අංක එකේ නියෝජිතයා වූ ට්‍රම්ප් වැන්නකු ස්වාධීනව ඉදිරිපත් වුවහොත් එයින් රිපබ්ලිකන් ඡන්ද පදනම පැහැදිලිවම දෙකට කැඩී යනු ඇත. එහි වාසිය නිතැතින්ම ඩිමොක්‍රටික් අපේක්ෂකයාට ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම ට්‍රම්ප්ගේ ස්වාධීන අපේක්ෂකත්වය නිසා ඇමෙරිකානු දේශපාලනයේ සියවස් ගණනාවක් පැරණි ද්විපක්ෂ පදනම දෙදරා යනු ඇත. කෙසේ නමුත් රිපබ්ලිකන් ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය කළ හොත් නැවත ලෝකයේ බලවත්ම තනතුර ඩැහැ ගැනීම ට්‍රම්ප් මහතාට එතරම් අසීරු නොවනු ඇත.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment