උ/පෙළ විභාගය සාර්ථකව ඇරඹුණා – විභාග කොමසාරිස් ජනරාල්

78

අපොස උසස් පෙළ විභාගය (2023) සාර්ථකව ඊයේ (04දා) ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

විභාගය සඳහා සිසුන් තුන්ලක්‍ෂ හතළිස් හයදහස් නවසිය හැත්තෑහය දෙනකු විභාග මධ්‍යස්ථාන 2302ක දී විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා තිබිණි. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 319ක් වේ.

ජීව විද්‍යා විෂය ධාරාව යටතේ සිසුන් පනස්අට දහස් නවසිය අසූ එක්දෙනකු, භෞතික විද්‍යා විෂය ධාරාවෙන් හතළිස් තුන්දහස් හත්සිය දොළොස් දෙනකු ද, වාණිජ විද්‍යා යටතේ හැටනව දහස්හැත්තෑහත් දෙනකු ද, කලා විෂය යටතේ එක්ලක්‍ෂ විසිඅටදහස් නවසිය විසිහතර දෙනකු ද, ඉංජිනේරු තාක්‍ෂණවේදයෙන් විසිතුන් දහස් දෙසිය එක්දෙනෙකු ද, ජෛව පද්ධති තාක්‍ෂණය එකොළොස්දහස් තුන්සිය හැත්තෑ හත්දෙනකු සහ විෂය ධාරාවකට අයත් නොවන එකොළොස්දහස් හත්සිය හතරදෙනකු ද විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා තිබිණි. විභාගය සඳහා පාසල් අයැදුම්කරුවන් දෙලක්‍ෂ අසූඑක් දහස් හාරසිය හතළිස් පස්දෙනකු සහ පෞද්ගලික අයැදුම්කරුවන් හැටපන්දහස් පන්සිය තිස් එක් දෙනකු පෙනී සිටීමට නියමිතය.

විභාගයේ මුල් දින 06ට අදාළව ප්‍රශ්න පත්‍ර යොමුකර තිබෙන බවත් හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක් සමග සාකච්ඡා කර තිබෙන බවත් අවශ්‍යතාවට අනුව එම ආයතන සහාය දීමට කටයුතු කරනු ඇති බවත් ජයසුන්දර මහතා කීය.

හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණපා තිබෙන ප්‍රදේශවල අපේක්‍ෂකයන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඒ සම්බන්ධයෙන් අයැදුම්කරුවන් දැනුවත් කර තිබෙන බවත්, විභාගයට පැමිණීමට බාධාවක් නොවන විභාග අපේක්‍ෂකයන් අදාළ විභාග මධ්‍යස්ථානයේම (ප්‍රවේශ පත්‍රයේ සඳහන්) විභාගයට පෙනී සිටිය යුතු බවත් ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment