මොනම ආකාරයකටවත් අන්තවාදයකට හිස ඔසවන්න ඉඩක් නැහැ – නිදහස් සැමරුමේදී ජනපති කියයි

260

මැති ඇමැතිවරු හා අනෙක් දේශපාලනඥයන් පළමුව
ආදර්ශය දුන්නොත් රටේ ජනතාව එය අනුගමනය කරාවි

රටට එරෙහි බලවේග බොරු පතුරවනවා ජනතාව විචාර බුද්ධියෙන් ඉන්න

අභියෝග ජය ගන්න සියලු දෙනා ම වෙනස් වෙමු

නිදහසේ නිසි ඵල ලැබෙන්නේ සියලු දෙනා වගකීම් ඉටුකළ විටයි

වගකීම් අමතක කර අයිතිවාසිකම් විතරක් කතා කිරීම සුදුසු නෑ

අපේ අරමුණ රට වෙනුවෙන් හරි දේ කිරීම මිස සියලු දෙනාම සතුටු කිරීම නොවෙයි

විවේචනයට පමණක් පුරුදු අයට අනාගතය ගැන දැක්මක් නැහැ

දෙස් විදෙස් බලවේග අපට එරෙහිව සංවිධානය වෙනවා

ලෝකය වෙනස් කළේ ධනාත්මකව හිතන මිනිස්සු

රටේ අභියෝග ජය ගන්න නායකත්වය දෙන්න හැම විටම මම සූදානම්

සියලූම මැති ඇමැතිවරුන් හා අනෙකුත් දේශපාලනඥයන් රටට ආදර්ශයක් වන ආකාරයට කටයුතු කළොත් රටේ බහුතරයක් ජනතාව එය අනුගමනය කරනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (04 දා) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස‍්‍රයේ පැවැති 74 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතිය අමතමින් සඳහන් කළේය.

ජනාධිපතිවරවයා එහිදී කළ සම්පූර්ණ කථාව මෙසේය.

නිදහස් රටක ගෞරවාන්විත පුරවැසියෙක් ලෙස ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් ඉතිහාසය පුරා විවිධ රටවල ජනතාව අරගල කර තිබෙනවා, සටන් වැදී තිබෙනවා, විශාල පරිත්‍යාගයන් සිදු කර තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේත් වසර 2500කට වැඩි ඉතිහාසය තුළ විවිධ කාල වකවානුවල දී විදේශ ආක‍්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ දුටුගැමුණු, වළගම්බා, මහා පැරකුම්බා, විජයබාහු, සයවැනි පැරකුම්බා වැනි ශ්‍රේෂ්ඨ රජවරු විදේශිකයන්ගෙන් රට මුදා ගෙන එක්සේසත් කළා.

මොනම ආකාරයකටවත් අන්තවාදයකට හිස ඔසවන්න ඉඩක්  නැහැ - නිදහස් සැමරුමේදී ජනපති කියයි

අවසාන වශයෙන් වසර 450 ක පමණ කාලයක් පැවැති යුරෝපීය යටත් විජිත පාලනයන්ගෙන් අපේ රට නිදහස් වී දැනට වසර 74ක් වෙනවා. නිදහසින් පසුවත් දශක 3කට ආසන්න කාලයක් ත‍්‍රස්තවාදී ක‍්‍රියාදාමයක් හරහා මේ රට දෙකඩ කිරීමේ උත්සාහයකට එරෙහිව සටන් කරන්නට අපට සිදු වුණා.

අද වන විට ශ‍්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්. අප එහි අභිමානවත් පුරවැසියන්.

ඉතිහාසය පුරා විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් අපේ රටට පූර්ණ නිදහස ලබාගැනීමට සහ ලබා ගත් නිදහස තහවුරු කිරීමට ඇප කැප වුණු සියලූ දේශපේ‍්‍රමීන්ට මගේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරනවා.

ජාති, ආගම් භේදයකින් තොරව සෑම ශ‍්‍රී ලාංකික පුරවැසියකුටම අද රටේ ඕනෑම ප‍්‍රදේශයක නිදහස්ව, සුරක්ෂිතව ජීවත් වීමේ අයිතිය තිබෙනවා. තමන් කැමති ආගමක් ඇදහීමට නිදහස තිබෙනවා. ස්වාධීන මතයන් දැරීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස තිබෙනවා. රටේ සම්පූර්ණ මාධ්‍ය නිදහසක් තිබෙනවා. ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයක් හරහා තම මහජන නියෝජිතයන් පත්කර ගැනීමටත්, කැමති අයට දේශපාලන ක‍්‍රියාවලියට හා රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමටත් නිදහස තිබෙනවා.

මොනම ආකාරයකටවත් අන්තවාදයකට හිස ඔසවන්න ඉඩක්  නැහැ - නිදහස් සැමරුමේදී ජනපති කියයි

මෙය අප සියලූ දෙනාගේ ම සතුටට හා අභිමානයට හේතුවක්.

නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක වැසියන් ලෙස අප සියලූ දෙනාටම අයිතිවාසිකම් තිබෙනවාක් මෙන්ම වගකීම් ද තිබෙනවා.

ලැබූ නිදහසෙන් උපරිම ප‍්‍රයෝජන ලැබෙන්නේ සියලූ දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරන විටයි. වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු නැහැ.

රටක නිදහස වඩාත් අර්ථවත් වන්නේ එම රට, සමාජ, දේශපාලන හා ආර්ථීක යන සියලූ අංශවලින් ශක්තිමත් වූ විටයි. ඒ සඳහා සක‍්‍රීයව දායක වීමේ අවස්ථාව රජයට වගේම ජනතාවටත් තිබෙනවා.

රටක් නිසි දිශානතියකට මෙහෙයවීමේ දී ඒ සඳහා රටේ සියලූ දෙනාගේ ම සහාය බලාපොරොත්තු විය නොහැකි බව අපි දන්නවා. වෙනස් නොවන අය දෙස බලා රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අප සැලසුම් කර ඇති දේවල් අතහැර දමන්නට අප සූදානම් නැහැ. අපේ අරමුණ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම මිස සියලූ දෙනාම සතුටු කිරීම නොවෙයි.

අනාගතය දෙස සුබවාදී ව බලන ධනාත්මක චින්තනයකින් පමණයි අපට අපේ ඉදිරි ගමන සාර්ථක කර ගත හැක්කේ. ජයග‍්‍රාහී ගමනක් වෙනුවෙන් අවශ්‍ය කැප කිරීම් කළොත් පමණයි අපට මුහුණ දෙන්නට වන අභියෝග ජයගත හැක්කේ.

අසුබවාදීන් ලෝකය වෙනස් කරන්නේ නැහැ. ඔවුන්ට ඒ සඳහා හැකියාවක් ඇත්තේත් නැහැ. ප‍්‍රශ්නයකට විසඳුමක් ඉදිරිපත් නොකොට විවේචනය කරන්නට පමණක් පුරුදු වී ඇති අයට අනාගතය ගැන දැක්මක් නැහැ.

රටක නායකයකුට බොහෝ දුෂ්කරතා, විපත්, ගැටලූ හා අභියෝගවලට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදු වෙනවා. දැක්මක් කරා කණ්ඩායමක් මෙහෙයවීම පහසු නැහැ. කෙතරම් හොඳ අරමුණක් වෙනුවෙන් වුවත් පවතින ක‍්‍රමවේදයන් වෙනස් කිරීම පහසු නැහැ. යම් කාරණාවල දී දේශීය මෙන්ම විදේශීය බලවේගත් අපට එරෙහිව සංවිධානය වෙනවා. සමහර විට ඔබ අවට සිදුවෙන සෑම දෙයක්ම ඔබට එරෙහිව සිදුවන කුමන්ත‍්‍රණයක් මෙන් පෙනෙන අවස්ථා තිබෙනවා.

ජනතාව නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ මේ සියලූ අර්බුද කළමනාකරණය කරගෙන රට ඉදිරියට මෙහෙයවීම මිස ප‍්‍රශ්නවලින් පලා යෑම නොවෙයි. ඒ සඳහා අවශ්‍ය කරන ධනාත්මක මානසිකත්වය අප සතුව තිබෙනවා. රට මුහුණ දෙන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අවශ්‍ය කරන නායකත්වය ලබා දීමට මම හැමවිටම සූදානම්.

ලෝකය වෙනස් කළෙත්, වෙනස් කරන්නේත් ධනාත්මක අදහස් තිබෙන, අනාගතය දෙස සුබවාදී ව සිහින දැක ඒවා සාක්ෂාත් කරගන්නට උත්සාහ කළ පුද්ගලයන් විසිනුයි. මේ බව ඉතිහාසය පුරාම අපට පෙනෙනවා.

සෑම දියුණු රටකම සමාජ ප‍්‍රගමනයට හේතු වූයේ ඒ රටවල නායකයන්ගේ හා ජනතාවගේ තිබුණ සුබවාදී අදහසුයි.

අතීතයේ අපේ රජවරුත් රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය වැනි සුවිසල් නිර්මාණ කළේ එවැනි සුභවාදී චින්තනයකිනුයි. මින්නේරිය වැව, කලා වැව, පරාක‍්‍රම සමුද්‍රය, යෝධ ඇළ වැනි නිර්මාණ කළ විශිෂ්ට වාරි තාක්ෂණයක් එදා අපට තිබුණා. සීගිරිය වැනි නගර නිර්මාණ අදත් ලොව විස්මයට පත් කරනවා. ලංකාව පුරාතන ලෝකයේ සුප‍්‍රකට ම නාවික කේන්ද්‍රස්ථානයක්. එදා අපට එවැනි දේ කරන්නට පුළුවන්කම තිබුණා නම් අනාගතයේත් ලෝකය සමග තරග කරන්නට අපට පුළුවන් විය යුතුයි.

ඒ සඳහා අත්‍යවශ්‍යම සාධකය වන්නේ අපි අප ගැන තබන විශ්වාසයයි.

දුෂ්කර කාල හැමදාමත් ඒ ලෙසම පවතින්නේ නැහැ. දුෂ්කර කාලවලට මුහුණ දීමට ශක්තිමත් මිනිසුන් අවශ්‍යයි. ඒ නිසා අන් අයව මානසිකව වට්ටන කිසිවෙක් මේ අවස්ථාවේ සමාජයට කරන්නේ උපකාරයක් නොවෙයි. ඒ නිසා අපි සියලූ දෙනාටම විශාල වගකීමක් තිබෙනවා, මේ අර්බුදයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය ධනාත්මක චින්තනය රටේ ගොඩනගන්නට.

මෑතකාලීන ඉතිහාසයේත් අපි බරපතළ ගැටලූවලට මුහුණ දී ඒවාට විසඳුම් සොයා ගෙන තිබෙනවා. ත‍්‍රස්තවාදය කිසි විටක යුද්ධයකින් පරාජය කළ නොහැකිය කියා එදා සර්ව අසුබවාදීන් දිගින් දිගටම කියද්දී ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, ජෙනරාල් විජය විමලරත්න වැනි අභීත හමුදා නායකයන් ත‍්‍රස්තවාදය පරාජය කළ හැකිය යන ධනාත්මක චින්තනය ඔවුන් යටතේ සටන් කළ හමුදා නිලධාරීන්ට කා වැද්දුවා. පසුකාලීනව නිවැරදි දේශපාලන නායකත්වයක් යටතේ වසර 3 1/2 ක වැනි කෙටි කාලයක් තුළ ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය කරන්නට අපට හැකි වුණේ අපේ හැකියාවන් ගැන අප තුළ තිබූ විශ්වාසය නිසයි.

අප වර්තමානයේ මුහුණ දෙන අර්බුද කිසිවක් දීර්ඝකාලීන ගැටලූ නොවෙයි. සුබවාදී ප‍්‍රවේශයකින් අපට මේ ගැටලූවලට පිළිතුරු සොයන්නට පුළුවන්. නමුත් ඒ වැඩ පිළිවෙළ ඉක්මන් කර ගැනීම සඳහා අප සෑම කෙනෙකුට ම කළ හැකි වැඩ කොටසක් තිබෙනවා. තම වගකීම නිසි ලෙස ඉටු කිරීමෙන් අපි සියලූ දෙනාම රට වෙනුවෙන් අපේ උපරිම දායකත්වය ලබා දෙන්නට උත්සාහ කළ යුතුයි. කොවිඞ් -19 වසංගතය පාලනයට එකම විසඳුම එන්නත්කරණය බව අපි කල් වේලා ඇතුවම වටහා ගත්තා. ඒ අනුව ඉලක්කගත ජනගහනයෙන් 85% කට වැඩි ප‍්‍රමාණයකට එන්නත් මාත‍්‍රා දෙකම ලබා දී, රෝග තත්ත්වය පාලනය කොට, සාමාන්‍ය ජන ජීවිතය යළි ආරම්භ කරන්නට අපට හැකි වී තිබෙනවා. මේ අවස්ථාව වන විටත් ජනතාවට උත්පේ‍්‍රරක මාත‍්‍රාව ද ලබා දීම සඳහා අවශ්‍ය කරන සියලූ ම එන්නත් ලංකාවට ගෙන්වා අවසන්.

ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික ගැටලූවලට හේතු සොයමින් වසර ගණනාවක් ආපස්සට යෑමට වඩා කාලෝචිත වන්නේ ඒ සඳහා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසඳුම් සෙවීමයි. රජයක් වශයෙන් අපි අවධානය යොමු කොට තිබෙන්නේ ඒ සඳහායි.

ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් අපි කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන අංශ තුනම දියුණු කළ යුතුයි. දේශීය නිෂ්පාදනය දිරි ගන්වන ගමන්ම අපනයන ආදායම වැඩි කරගත හැකි මාර්ග ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් වූ අපේ ජාතික ප‍්‍රතිපත්ති ඉතාමත් පැහැදිලි වුණත් ඒවා ක‍්‍රියාවට නැංවීමේ දී මීට වඩා ක‍්‍රියාශීලී දායකත්වයක් සෑම ක්ෂේත‍්‍රයකම තිබිය යුතුයි.

අපේ රටේ සංවර්ධන ක‍්‍රියාවලියේ දී ආයෝජන අත්‍යවශ්‍ය ම සාධකයක්. ආයෝජන දිරිගැන්වීමට රජය හැමවිටම කටයුතු කරන අතර, අපට දේශීය ආයෝජන මෙන්ම විදේශීය ආයෝජනත් අවශ්‍යයි. විශේෂයෙන්ම මහා පරිමාණ ව්‍යාපෘති, නවීන තාක්ෂණ දැනුම අවශ්‍ය වන කර්මාන්ත, ගෝලීය වෙළෙඳපොළ අවස්ථා අපට විවෘත කරන නව ව්‍යාපාර ආදිය සඳහා විදේශීය ආයෝජන වැදගත් වෙනවා. දේශපාලන අරමුණු මුල්කර ගෙන දේශීය හෝ විදේශීය ආයෝජනවලට එරෙහිව වැරදි මත ජනගත කරන්නට උත්සාහ කරන පිරිස් ගැන ජනතාව වඩාත් පරීක්ෂාකාරී විය යුතුයි.

ව්‍යවසායකත්වය දිරිමත් නොකොට, ව්‍යවසායකයන්ට ඇති බාධා ඉවත් නොකොට, අපට ආර්ථික සංවර්ධනය කඩිනම් කරන්නට බැහැ. විවිධ අවදානම් මැද්දේ තමන්ගේම
කියා ව්‍යාපාරයක් ආරම්භ කර තවත් අයට රැකියා හා ආදායම් ඉපයීමේ අවස්ථා ලබා දෙන ව්‍යවසායකයන්ට මීට වඩා ගෞරවයකින් හා මිත‍්‍රශීලී ලෙස සැලකීමට අපට වගකීමක් තිබෙනවා. රටේ සංවර්ධනයට ව්‍යවසායකයන්ගේ දායකත්වය හොඳින් වටහා ගෙන පවතින නීතිමය රාමුව තුළ ඔවුන්ට අවශ්‍ය සියලූ උපකාර කඩිනමින් කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතුයි. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදීත්, ආයෝජනයන් සඳහා අනුමැතීන් ලබා දීමේදීත් සිදුවන විශාල ප‍්‍රමාදයන් වළක්වාලීමට කටයුතු කිරීම හරහා රටේ සමස්ත ආර්ථික ක‍්‍රියාවලිය වඩාත් සක‍්‍රීය කිරීමට පුළුවන්.

වඩා ඵලදායී පුරවැසියෙක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ රාශියක් මේ අවස්ථාවේ රටේ සිදු වෙමින් පවතිනවා. පාසල් අධ්‍යාපනය අවසන් කරන සෑම

දරුවෙක් ම රටේ ආර්ථික ක‍්‍රියාවලියට දායකත්වයක් ලබා දිය හැකි ශිල්පයක් හෝ කර්මාන්තයක් ප‍්‍රගුණ කරන්නට උත්සාහ ගත යුතුයි. තමන් තෝරාගත් ක්ෂේත‍්‍රය තුළ තම දැනුම වැඩිකර ගැනීමට මෙන්ම හැකි නම් වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට උත්සාහ කළ යුතුයි. ඒ හරහා රටේ ආර්ථික ක‍්‍රියාවලියට ඍජුව ම දායක වීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

ගොවිපළේ, කම්හලේ, වැඩපොළේ දහදිය හෙළන වැඩ කරන ජනතාව රටේ ආර්ථිකයට සක‍්‍රීය දායකත්වයක් ලබා දෙනවා. ඒ සියලූ දෙනාට මගේ ගෞරවය පිරිනමනවා.

රටට විදේශ විනිමය සපයන විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් අපට විශාල සම්පතක්. පසුගිය කාලයේ ඔවුන් රට වෙනුවෙන් පෙරට පැමිණ විශාල කැප කිරීම් කරමින් අපට සහයෝගය දුන් ආකාරය අපට අමතක වී නැහැ. ඔවුන් නිරන්තරයෙන් අපේ ආර්ථිකයට ලබා දෙන ශක්තිය අප ඉතාමත් අගය කොට සලකනවා. මම ආරාධනා කරනවා,

සියලූ ම විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන්ට තම උපන් බිමේ ආයෝජනය කරනා ලෙස. එමගින් රටේ අනාගතය ගොඩනැගීමට තවදුරටත් සක‍්‍රීයව දායක වන්නට ඔබට අවස්ථාව ලැබෙනවා.

අප හමුවේ ඇති අභියෝග ජය ගෙන අපේ අනාගත ඉලක්ක සාර්ථකව ඉටු කර ගැනීමට නම් අප සියලූ දෙනාටම වෙනස් වන්නට සිදු වෙනවා. අප සියලූ දෙනාටම ඒ සඳහා යම් කැප කිරීම් කරන්නට සිදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ආදර්ශය දෙන්නට රටේ ජනාධිපතිවරයා ලෙස මම සූදානම්. දැනටමත් මා එය හැකි උපරිම මට්ටමෙන් ඉටු කරනවා. මා ඉල්ලා සිටිනවා සියලූම මැති ඇමැතිවරුන් හා අනෙකුත් දේශපාලනඥයන්ගෙන්, රටට ආදර්ශයක් වන ආකාරයට හැමවිටම කටයුතු කරන්නට කියා. ඔබ ජනතාවට ඒ ආදර්ශය සපයනවා නම්, රටේ බහුතරයක් ජනතාව ඔබව අනුගමනය කරාවි.

දේශීයත්වය අගයන, රටේ ස්වෛරීත්වය සුරකින ජාතික නායකත්වයකට එරෙහි බලවේග ඉතා සූක්ෂම ලෙස විවිධ බොරු ප‍්‍රචාර හරහා ජනතාව නොමග යවන්නට කටයුතු කරනවා. මා ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් සැමවිටම විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියා. දත්ත මත පදනම්ව කරුණු විමසා බලා, සත්‍යය හඳුනා ගෙන තීන්දු තීරණ ගන්නවා නම් කිසිවකුට ජනතාව නොමග යවන්නට බැහැ.

අනාගත පරපුර වෙනුවෙන් දිනූ නිදහස සැම විටම සුරකින බවටත්, අපේ රටේ ඒකීය බව, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කරන බවටත්, රාජ්‍ය නායකයා වශයෙන් මම ප‍්‍රතිඥා දී තිබෙනවා. ඒ ප‍්‍රතිඥාව අප හැම විටම සුරකිනවා.

සංස්කෘතික නිදහස සෑම ජන වර්ගයකටම වැදගත්. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති පාරම්පරික සිරිත් විරිත්, සාරධර්ම හා අපේකම ආරක්ෂා කිරීම මූලික වගකීමක් ලෙස අපි සලකනවා. පසුගිය කාලයේ විවිධ තර්ජනයන්ට ලක්වී විනාශ වෙමින් තිබුණ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන ආරක්ෂා කොට ඒවා වැඩි දියුණු කරන්නට අප කටයුතු කොට තිබෙනවා.

අපි නීතියේ ආධිපත්‍ය සුරකින, ජාත්‍යන්තර සම්මුතීන්ට ගරු කරන රටක්. පටු අරමුණු මුල් කරගෙන ලංකාවට විවිධ චෝදනා එල්ල කරන්නට යම් පාර්ශ්ව උත්සාහ කළත් කිසිදු ආකාරයක මානව හිමිකම් කඩ කිරීමකට රජය අනුබල දී නැති අතර, ඉදිරියේදීත් එවැනි සිදුවීම්වලට ඉඩ තබන්නේ නැහැ.

මොනම හේතුවක් නිසාවත් මේ රටේ යළි අන්තවාදයට හිස ඔසවන්නට අප ඉඩ දෙන්නේ නැහැ. රජය ජනතාවට පොරොන්දු වූ ආකාරයටම අප අද ජාතික ආරක්ෂාව තහවුරු කොට තිබෙනවා. ජනතාව විසින් වත්මන් රජයට වරම් ලබා දී තිබෙන්නේ අප විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ක‍්‍රියාවට නංවන්නටයි.

අප ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති රාමුව තුළ හරිත කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති භාවිතය ප‍්‍රවර්ධනය, නව ලොවට ගැළපෙන අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, දේශීය ව්‍යවසායකත්වය දිරිගැන්වීම, අපනයන විවිධාංගීකරණය හා අගය වැඩි කිරීම, ආර්ථිකයේ නව පිම්මක් සඳහා තාක්ෂණය භාවිතය ප‍්‍රචලිත කිරීම වැනි හඳුනා ගත් ප‍්‍රමුඛතාවල කිසිදු වෙනසක් වී නැහැ.

ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනයගරුක, ගුණගරුක සමාජයක්, සෞභාග්‍යමත් දේශයක් යන මූලික අරමුණු ඉටුකර ගැනීම සඳහා අප කැප වී සිටිනවා.

මට රටේ නායකත්වය පැවරුණේ ඉතා දුෂ්කර අවස්ථාවකයි. පසුගිය වසර දෙක තුළ අනපේක්ෂිත ගැටලූ රැුසකට විසඳුම් සොයන්නට අපට සිදු වුණා. ඒ සියලූ දුෂ්කරතා මැද සංවර්ධන කටයුතු රාශියක් සිදු කරන්නට අපේ රජයට හැකියාව ලැබුණා.

මගේ ඉතිරි ධුර කාලය තුළ රටේ තිරසාර සංවර්ධනයක් උදා කර ගැනීමට අවශ්‍ය සියලූ සැලසුම් මේ වනවිට ක‍්‍රියාත්මක වෙමින් තිබෙනවා. මොන තරම් බාධක ආවත් අපේ රටේ බහුතර ජනතාව අනාගතය දෙස සුබවාදීව බලා ඔවුන්ගේ නිසි දායකත්වය ලබා දුන්නොත් අපට ඒ අරමුණු ඉටුකර ගන්නට පුළුවන්.

නිදහසේ සැබෑ අරුත සාක්ෂාත් කර ගත් අභිමානවත් දේශයක්

ගොඩනැගීම සඳහා එකතු වන ලෙස සියලූ ම දේශපේ‍්‍රමී ශ‍්‍රී ලාංකිකයන්ට ඉත සිතින් මම ආරාධනා කරනවා.

ඔබ සැමට ස්තුතියි.

තෙරුවන් සරණයි.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment