බිත්තරය, පොම්පය සහ ආණ්ඩුවේ ඉස්පිරිතාලය

982

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය ඉකුත් ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා වරින්වර ඖෂධ සහ ශල්‍ය උපකරණ 64 ක් භාවිතයෙන් ඉවත් කර තිබේ. හදිසි වෛද්‍ය ප්‍රතිකාරවලදී හෘදයේ වේගයේ පාලනය කිරීම සඳහා භාවිත කරන ඩොබියුටමීන් නමැති ඖෂධය, අක්‍ෂි කාච, කැනියුලා, ඇස්පිරින්, බෙතඩීන්, ඇමොක්සික්ලෙව්, මෙට්‍රනයිඩසොල්, පිපරසිලින්, සේලයින් ඇතුළු ඖෂධ හා ශල්‍ය උපකරණ මෙසේ ඉවත් කර තිබේ. මේ තොරතුර අපට කියන්නේ වෛද්‍ය සංගමයක සභාපති වන වෛද්‍ය චමල් සංජීව ය. පසුගිය දිනක රූපවාහිනි චැනලයක් ඉදිරියට පැමිණි හෙතෙම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අඩුපාඩු ගැන කියමින් හඬන්නට ද පටන් ගත්තේය. ඒ හැඬිල්ල නම් පොඩි නාට්‍යමය ආතල් එකක් ලෙස අපි දකිමු. දොස්තර කෙනෙක් යනු වේදිකා නාට්‍ය නිළියක හෝ අරගලයේ ‘ජීන් ඇන්ටි’ වැනි කෙනෙකු නොවේ. එසේම ඔහු උදේට එක කතාවකුත් රෑට තව කතාවකුත් කියන රාජාංගනයේ සද්ධාරතන වැනි යූ ටියුබ් චීවරධාරියෙක් ද නොවේ. දොස්තරගේ පෞරුෂය ගැන අප තුළ කිසියම් ප්‍රමිතියක් ඇත. ඔහු හඬන්නට පටන් ගන්නා විට රෝගීන්ට බඩයන්නට පටන් ගනී. කෙසේ වුවද චමල් සංජීව හෙළිකළ කාරණයක් ඉතා වටනේ ය.

ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කලක පටන් ලොකු අර්බුදයක පවතී. මේ අර්බුදය මේ වන විට ඉතා ඉහළ තැනකට පැමිණ තිබෙන අතර ආණ්ඩුවේ ඉස්පිරිතාලවල බෙහෙත් නැත. බෙහෙත් තිබෙන පුද්ගලික රෝහල්වලට ගිය විට ලෙඩුන්ට සිදුවන්නේ බිල ගෙවා දැමීමට නොහැකිව සියදිවි නසා ගැනීමටය. මේ මොහොතේදී මේ රටේ තිබෙන ඉතාම කසිකබල් පෞද්ගලික රෝහලක වුව දෛනික කාමර ගාස්තුව රුපියල් දහදාහකි. මීට අමතරව කාමරයේ කොට්ටඋර සහ ඇඳඇතිරිලි වෙනුවෙන් ද, රෝගියා පාවිච්චි කරන තුවා වෙනුවෙන් ද වෙනම මුදල් අයකරනු ලැබේ. නර්සස් චාර්ජර්ස් යනුවෙන් දෛනික මුදලක් ද රෝගියාට දෙන ඖෂධ සඳහා වෙනම මුදලක් ද කාමරයේ දුරකථනයක් තිබේ නම් ඒ සඳහා වෙනම මුදලක් ද ගෙවිය යුතුය. මීට අමතරව රෝගියා සිටින කාමරයට පැය හතරෙන් හතරට හෝ තුනෙන් තුනට විසිට්කරන දොස්තරට වෙනම මුදලක් ද ගෙවිය යුතු ය. එමතුද නොව ලෙඩා බැලීමට දිනකට දෙවරක් එන විශේෂඥ දොස්තරට ද විශාල මුදලක් ගෙවිය යුතු ය. මේ අනුව සාමාන්‍ය රෝගියෙක් පෞද්ගලික රෝහලට ඇතුළත් වුවත් සියලුම ගාස්තු ඇතුළු දෛනික බිල රුපියල් එක්ලක්‍ෂ දසදහස පනී. අදාළ ලෙඩා දවස් දහයක් පෞද්ගලික රෝහලේ සිටියහොත් ඔහු මියයන්නේ උණ රෝගය නිසා නොව බිල නිසා හටගන්නා මානසික පීඩාව මත ය. ලෙඩා මළොත් මළමිනිය නිදහස් කර ගැනීමට බිල සම්පූර්ණයෙන් ම ගෙවිය යුතුය. මේ අනුව ඇතැම් ලෙඩරෝග සඳහා පෞද්ගලික රෝහල්ගතවන ලෙඩ්ඩු ශල්‍ය ගාස්තුව ද ඇතුළුව රුපියල් කෝටියක පමණ බිලක් මසකට ගෙවති. පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට කිසිදු වැඩපිළිවෙළක් මේ රටේ නැත. ඩෙංගු උණ පැතිර යන කාලයටත්, වෙනත් වසංගත රෝගයක් පැතිර යන කාලයටත් පෞද්ගලික රෝහල් ඉතා දරුණු ලෙස මුදල් හම්බකර ගනිති. ආණ්ඩුවේ ඉස්පිරිතාල පද්ධතිය ශක්තිමත් වන්නේ නම් මෙබඳු විපතක් රෝගීන්ට සිදුවන්නේ නැත. ආණ්ඩුවේ ඉස්පිරිතාලේ දොස්තරම පෞද්ගලික රෝහලේ ද වැඩ කරයි. ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ක්ලිනික් එකට එන රෝගියා පුද්ගලික රෝහලේ කාමරයකට හෝ ශල්‍යාගාරයකට ඇද දැමීමට ආණ්ඩුවේ දොස්තරට පුළුවන. පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට රජයට බැරිවීමට ප්‍රමුඛ හේතුවක් වන්නේ රජයේ රෝහල් පද්ධතිය මේ වන විට නන්නත්තාර වී තිබීම ය. කොරෝනා වසංගතයෙන් පසු ලෝක ආර්ථික අර්බුදය ඉහළ යෑමත් සමඟම මේ නන්නත්තාරවීම දෙගුණ හෝ තෙගුණ විය.

ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය මේ වන විට එකම අලගොඩකි. නීති විරෝධී ලෙස කරන වකුගඩු ජාවාරම් සහ වෙනත් ඉන්‍ද්‍රීන් විකිණීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී අපි විවිධ කතන්දර ඇසුවෙමු. මීට අවුරුදු 10 කට පෙර අප මෙවැනි කතා ඇසුවේ ඉන්දියාවෙන් පමණි. ගම්වල සිටින දුප්පත් අහිංසක මිනිසුන් රවටාගෙන හෝ පැහැරගෙන නගරයට ගෙනවුත් ඔවුන් සිහි නැතිකර ඔවුන්ගේ සිරුරු තුළ තිබෙන වකුගඩු එකක් හෝ දෙකම ඉවත්කරගෙන ඒ මිනිසුන් කුණුගොඩවල්වල දමා යෑමේ ජාවාරමක් ඉන්දියාවේ තිබේ. තමා සතුව තිබූ වකුගඩු එකක් හෝ දෙකම නැති බව අදාළ පුද්ගලයා දැන ගන්නේ සිහිය ආ විටය. වකුගඩු එකක් ඉතුරු වුණොත් එම පුද්ගලයාගේ ජීවිතය බේරෙන අතර, වකුගඩු දෙකම ගලවාගෙන නම් ඔහු ස්වල්ප වේලාවකින් කුණුගොඩේම මියයයි. මෙය ඉතා භයානක ජාවාරමකි. මේ ජාවාරම ආසියාවේ රටවල් ගණනාවකම තිබේ. මේ තත්ත්වය මේ ආකාරයෙන් ම බොරැල්ල පැත්තෙන් වාර්තාවීමට පටන්ගත් කල්හි එයට මැදිහත්ව එය නැවැත්වීමට ආණ්ඩුවට හැකිවිය. එහෙත් සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්නය එතෙකින් නොනවතී. වෛද්‍යවරුන් ලියන බෙහෙත් රෝහල් තුළ නැති අතර ඒවා ඉස්පිරිතාලේ ඉස්සරහ ෆාමසියෙන් ගැනීමට සිදුවේ. ෆාමසිවල බෙහෙත් මිල බොහෝ ඉහළ ය. පසුගිය කාලයේදී ඩොලරයේ මිල ඉහළ යෑමත් සමඟම ප්ලාස්ටර් කැබැල්ලේ මිලේ සිට සියලුම ශල්‍ය උපකරණවලත්, පැරසිටමෝල් පෙත්තේ සිට සියලුම බෙහෙත්වලත් මිල බෙහෙවින් වැඩි විය. ඉස්පිරිතාලේ නැති බෙහෙත් ෆාමසිවල ඇත්තේ කොහොමදැයි මේ වෙලාවේදී පාඨකයා ප්‍රශ්න කිරීමට ඉඩ තිබේ. ෆාමසියට සල්ලි තිබුණාට ඉස්පිරිතාලෙට සල්ලි නැත. ෆාමසිකාරයා උන්ඩියල් ක්‍රමයට හෝ වෙනත් කුමක් හෝ ක්‍රමයකට සල්ලි පිටරට යවා බෙහෙත් ගෙන්වා ගනී. එහෙත් ආණ්ඩුවට එසේ කළ නොහැක.

ලංකාවේ සෞඛ්‍ය සේවය ප්‍රතිසංවිධානය කළ යුතු නම් ඒ සඳහා සෑහෙන මුදලක් පොම්ප කළ යුතුව තිබේ. එසේ පොම්ප කරනු පිණිස පොම්පය තිබුණත් පොම්පය දිගේ එවීමට මුදල් මේ මොහොතේදී ආණ්ඩුව සතුව නැත. ඇතැම් ආණ්ඩුවේ ඉස්පිරිතාල දූෂණයෙන් සහ වංචාවෙන් පිරී ගොස් ඇත. රෝහල් ගබඩාවේ තිබෙන බෙහෙත් රෝහල ඉස්සරහා ෆාමසියට විකුණනු ලැබේ. මේවා පිටුපස සිටින්නෝ වැඩි දෙනා අසරණ රෝගීන්ගේ බිත්තර හොරෙන් කන සුළු සේවකයෝ ය. රටේ සෞඛ්‍ය සේවය අස්ථාවර බව ජනයාට සිතුනොත් එමගින් ඉච්ඡාභංගත්ව මානසිකත්වයක් ඇතිවීමට පටන් ගනී. එය මේ රටට කිසිසේත්ම හොඳ නැති බව අප කියන්නේ ඉතා අවංකවය.

advertistmentadvertistment
advertistmentadvertistment