ලෙජන්ඩ්ස් ලීග් පළමු ජයග‍්‍රහණය ඉන්දීය මහරාජාස්ට

316

ලෙජන්ඞ්ස් ලීග් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඉන්දීය මහරාජාස් කණ්ඩායම සහ ආසියා ලයන්ස් කණ්ඩායම අතර ඕමානයේදී පෙරේදා (20 වෙනිදා* රාත‍්‍රී පැවැති පළමු තරගයෙන් කඩුලූ 6ක විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය මහරාජාස් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ආසියා ලයන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ රැස් කළ ලකුණු 175 හඹා ගිය ඉන්දීය මහරාජාස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 40කදී වේගවත් ලකුණු 80ක් වාර්තා කළ යූසුෆ් පතාන් පළමු ලෙජන්ඞ්ස් ලීග් ක‍්‍රිකට් තරගයේ වීරයා බවට පත් වූයේය.

හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් යූසුෆ් පතාන් ගේ ඉනිමට ඇතුළත් වූ අතර සිය 28 වෙනි පන්දුවේදී අර්ධ ශතකය ලබා ගැනීම පිණිස ඔහු එල්ල කළ මීටර් 80ක් දුරට ඇදී ගිය 6 පහර නතර වූයේ ක‍්‍රීඩාංගණයෙන් එපිට රථ වාහන ගාලේය.

ලකුණු 34කට කඩුලූ 3ක් බිඳ වැටී තිබියදී පිටියට පැමිණි යූසුෆ් පතාන් සහ නායක මොහොමඞ් කයිෆ් දෙදෙනා එක්ව වාර්තා කළ ලකුණු 117 සම්බන්ධතාවය ලකුණු 152දී යූසුෆ් පතාන් දුවද්දී දැවී යෑමෙන් බිඳ වැටුණද ජයග‍්‍රහණය ස`දහා අවශ්‍ය වූ ඉතිරි ලකුණු 25 යූසුෆ් පතාන් ගේ සොහොයුරු ඉර්ෆාන් පතාන් සමග එක්ව ලබා ගැනීමට නායක මොහොමඞ් කයිෆ් සමත් වූයේය.

මොහොමඞ් කයිෆ් පන්දු 37කදී නොදැවී ලකුණු 42ක් ලබා ගත් අතර ඉර්ෆාන් පතාන් පන්දු 10කදී නොදැවී ලකුණු 21ක් ලබා ගත්තේය.

ආසියා ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ උපුල් තරංග පන්දු 46කදී ලකුණු 66ක් ලබා ගනිමින් ආසියා ලයන්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේය. උපුල් තරංග දැක්වූ එම දක්ෂතාවය හේතුවෙන් සටනක් ලබා දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට ආසියා ලයන්ස් කණ්ඩායමට හැකි වූ අතර ආසියා ලයන්ස් කණ්ඩායමේ නායක මිස්බා උල් හක් පන්දු 30කදී ලකුණු 44ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදි ඉන්දීය මහරාජාස් කණ්ඩායම වෙනුවෙන් ගෝනි කඩුලූ 3ක් සහ ඉර්ෆාන් පතාන් කඩුලූ 2ක් දවා ගත්තේය.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ආසියා ලයන්ස් කණ්ඩායම ස`දහා මෙම තරගයේදී තරංගට අමතරව මුත්තයියා මුරලිදරන්, ටී. එම්. ඩිල්ශාන් සහ නුවන් කුලසේකර ක‍්‍රීඩා කළහ. මුරලිදරන් මෙම තරගයේදී පන්දු වාර 4 ක් ක‍්‍රියාත්මක කළ අතර ප‍්‍රතිවාදීහු එම පන්දු වාර 4 තුළදී ලකුණු 32ක් ලබා ගත්හ. නුවන් කුලසේකරගේ පන්දු වාර 4 තුළදී ලකුණු 42ක් ඔවුන් ලබා ගත් අතර ටී. එම්. ඩිල්ශාන් ටද කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් යමක් කිරීමට නොහැකි විය.

කෙසේ වෙතත් ලකුණක් කරා දිව යෑමට උත්සාහ කළ මහරාජාස් කණ්ඩායමේ එස්. බඩි‍්‍රනාත්ව ලකුණු බිංදුවකට දුවද්දී දවා ගැනීම ස`දහා මුරලිදරන් විසින් කඩුල්ල වෙතටම පන්දුව එල්ල කළ අයුරු විචාරකයන්ගේ මහත් පැසසුමට ලක් විය.

තරගාවලිය යටතේ ආසියා ලයන්ස් කණ්ඩායම ඊයේ (21 වැනිදා* වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතව තිබුණි.

ලකුණු සාරාංශය

ආසියා ලයන්ස් කණ්ඩායම

උපුල් තරංග 66, මිස්බා උල් හක් 44,

කම්රන් අක්මාල් 25

ඉන්දීය මහරාජාස් කණ්ඩායම

යූසුෆ් පතාන් 80,

මොහොමඞ් කයිෆ් 42,

ඉර්ෆාන් පතාන් 21

පන්දු යැවීම

ශොයිබ් අක්තාර් 21-1,

උමාර් ගුල් 30-1

advertistmentadvertistment
advertistmentadvertistment