යන, නොයන රට ගමන්

505

බුදු දහමේ ශික්‍ෂණයෙන්, ලද දෙයින් සතුටු වී ස්වයංපෝෂිත ආර්ථික රටාවකට හුරු වූ ලාංකීය ජන සමාජය 1977 න් පසු පාරිභෝජනවාදී ආර්ථික රටාවකට එවක පාලකයන් විසින් මෙහෙයවන ලදී. එතෙක් ජනතාව තුළ තිබූ අභිමානය මුදල් හමුවේ හෑල්ලු කිරීමට මෙන්ම බල්ලන් මරා හෝ මුදල් ඉපැයීමේ තත්ත්වයට සමාජය පත්වූයේ අක්මුල් නොමැති විපරීත අංගවිකල ආර්ථික ක්‍රමය හේතුවෙනි.

මෙම ආර්ථික ක්‍රමයෙන් පීඩාවට පත් බහුතර ජනතාවක් ආර්ථික පීඩාවන්ගෙන් කරවටක් ගිලී ඉමක් කොනක් නොදකින අගාධයක නොයෙක් දිශාවන්ට දෝලනය වෙමින් සිටී. එම අගාධයෙන් එතරවීමට දකින සිහිනයන් අතර විදෙස්ගත වී යමක් කමක් සොයාගෙන සුඛිත මුදිත වීමට දරනු ලබන උත්සාහය ප්‍රමුඛ වේ. එසේම නූතන ආර්ථික අවපාතය හමුවේ මෙම ප්‍රතිශතය වර්ධනය වී ඇත.

මෙම සිහිනය හඳුනාගත් වංචනිකයන් එම නියැදිය වෙතට නැඹුරු වී සිහිනය යථාර්ථයක් කිරීමේ මුවාවෙන් ඔවුන් සතු දේ අත්පත් කර ගනිමින් ඔවුන්ගේ සුඛවිහරණ සලසා ගනී. සිහිනයක හිමිකරුවන් වූ ඔවුන් අවසන ණයකරුවන්ව, සහනය සොයා උසාවි පොලිසි වෙත මෙන්ම තමන්ම පිළියම් සෙවීම නිසා බන්ධනාගාරගත වන්නේ උරුමයක් නැති අරමුණක් වෙනුවෙන් සිහින දැකීම හේතුවෙනි.

එසේම උරුමය ඇත්තන් නිරායාශයෙන් විදෙස්ගත වී සිය අභිලාශයන් ඉටුකර ගෙන අඹුදරුවන් සමඟ සැපවත් ජීවිත ගතකරන අයුරු ද සමාජයේ විද්‍යාමාන වේ.

විදෙස්ගතවීමේ සිහිනය දකින්නන්ට තමන්ට එම උරුමය ඇති නැති බව මෙන්ම ඔවුන්ට එහි ඇති සාපල්‍යතාවය ද සිය ජන්ම පත්‍රය ඇසුරෙන් මනා විග්‍රහයක් ලබාගත හැකිය. මෙම ජන්ම පත්‍ර පරීක්‍ෂණයේදී

  1. අපහසුවකින් තොරව විදෙස්ගත විය හැකිද?
  2. හොඳ සේවා යෝජකයකු තමන්ට ලැබේද?
  3. සාර්ථක ලෙස කටයුතු නිම කොට පැමිණෙන විට සිය කුටුම්බය ආරක්‍ෂා වී පවතී ද?

යන කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

ජන්ම පත්‍ර පරීක්‍ෂා කිරීමේදී හමු වී ඇති විදෙස්ගතවීමට අවකාශ සලසන යෝග කිහිපයක් පහත දක්වා ඇත.

ශනි කුජ ඔවුනොවුන් දැකීම මෙන්ම දෙදෙනාම ලග්නය දැකීම ද රාහු කෙබඳු අයුරකින් හෝ ලග්නයට හෝ දොළොස්වැන්නට සම්බන්ධ වේද, එසේ නොමැති නම් ලග්නාධිපති හෝ දොළොස්වැන්න අධිපති රාහු සමග කුමන අයුරකින් සම්බන්ධ වේද එය ජන්මියකු පිටරට සංචාරයට හෝ රැකියාවකට පොළඹවන ප්‍රධාන යෝගයකි.

රාහු හා නවය දොළහ අධිපතියන්ගේ බලපෑමත් එම ස්ථානවල සඳු හෝ එම ස්ථානාධිපතියන් සිටීම නිසා එම දශා කාලවලදී විශේෂයෙන් පිටරට රැකියා වාසනාව ලැබේ.

නිතර විදේශ ගමන් හිමිකරුවන්ගේ ජන්ම පත්‍රයේ එක, හත, දොළහ අධිපතීන් සමඟ රාහු සංයෝග වීමත් එම ස්ථානවල තැන්පත් වීමත් දැකිය හැකිය.

ඉහත දක්වා ඇත්තේ විදෙස්ගත වන්නන්ගේ ජන්ම පත්‍රයේ දැක්වෙන අවස්ථා කිහිපයකි.

රාහු විදෙස් ගමනට ආධාර කළත් රාහු 01, 02, 07, 08, 12 යන ස්ථානවල රාහු තැන්පත් වී ඇත්නම් හෝ එකී භාව අධිපතීන් සමඟ රාහු සංයෝග වී සිටින්නේ නම් විදේශයේදී ඔබට ලැබෙන හාම්පුතුන් සමඟ කටයුතු කිරීමේදී ඉතාමත් ප්‍රවේසම් විය යුතුය. 08 වැන්නේ හා 12 වැන්නේ රාහු සිටින කේන්දර හිමි කාන්තාවන් විදෙස්ගත වීමට පෙර ශරීර සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යා උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

ඔබ විදේශගත වීමට අවධානය යොමු කරන්නේ නම් ජ්‍යොතිෂ්‍ය ඇසුරින් ඔබේ ජන්ම පත්‍රය විමසා කටයුතු කිරීමෙන් සිදුවිය හැකි අනර්ථයන් වළක්වා ගැනීමට හැකිවනු ඇත.

යන, නොයන රට ගමන්

ජ්‍යොතිෂවේදී, එස්.ඩී.ජේ. පතිරණගේ
තිසර ජ්‍යොතිෂ සේවය.
ලේනමඩුව -කඹුරුපිටිය. දුරකතන අංකය 0714396119

advertistmentadvertistment
advertistmentadvertistment