මනෝ හමුව!

මට හුස්ම ගන්න බෑ. දැන් කාලෙක ඉඳලා හුස්ම ගන්න බෑ. හුස්ම නැතිව මිනිහෙක් ජීවත් වෙන්නෙ කොහොමද? ඒත් හුස්ම නැතිව මං ජීවත් වෙලා තියෙනවා. පහුගිය කාලෙම මං ජීවත් වුණේ එහෙම නේද? ඒක නම් හිතාගන්නත් බෑ. ඒත් අද උදේ මට පපුවට හුස්ම ආවෙම නෑ. හුස්ම එන්නෙ නැති තැන මං එළියට බැස්සා. පාරට බැස්සා. පාරට බැහැලා දුවන්න ගත්තා. දුවද්දි පපුවට හුස්ම ආවා. මං ඒ ගමන දුවන්නම වුණා. දුව දුවා ගියා. දුවද්දි තමයි පපුව හුස්මෙන් පිරුණෙ. ඒත් දුවන්න පුළුවන්ද දවසෙම? දවස්, සති, මාස ගණන් දුවන්න? ඒත් ඒක වුණා. පහුගිය අවුරුද්දෙම මං දුවලා. දුවලා ලැබුණු දෙයක් නෑ. ඒත් දුවලා. දුවලා විතරක් අවුරුද්දක් දෙකක් වයසට ගිහින්.

මං අද දුව දුවා යද්දි හතරමංහන්දිය හරියෙදි මට දැකලා පුරුදු මුහුණක් හම්බුණා. මං බැලුවා කවුද කියල. බොකුටු කොණ්ඩය, කට දෙපසට විහිදුණු අව්‍යාජ සිනාව, ගැමි මුහුණ සහ කළු උඩු රැවුල… කොහොම අමතක කරන්නද ඒ සෞන්දර්ය ප්‍රේමියා? හප්පා! ඒ අපේ ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්න. මනෝරත්න? නෑ. ඒක වෙන්න බෑ. නෑ, වෙන්න බැරි දේවල්ම සිද්ධ වෙන රටේ මොනවාද මේ කථා! ඇත්ත වශයෙන් ඒ මනෝ අයියා.

“ංආ! කොහොමද මල්ලි? ජොගින්ස් ගිහිල්ලා වගෙයි?”

මනෝ අයියා මාව දැකපු ගමන් කථා කළා. මං උත්තර දෙන්න ගැටගහද්දි මනෝ අයියා ආයෙත් කථා කළා: “දුවන එක හොඳයි මල්ලි. දුවනවා හැරෙන්න වෙන විසඳුමක් නෑනෙ අද. මාත් කළේ මැරෙනකන්ම දුවන එක තමයි. හැබැයි ලැබුණු කෙංගෙඩියක් නම් නෑ. අද මිනිස්සුන්ට දුවන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ.”

මනෝ අයියා මුණගැසීමේ සතුට මට දරාගන්න පුළුවන් වුණේ නෑ. ඒ හින්දා මං වැඩිය කථා කළේ නෑ. මනෝ අයියා කථා කරන දිහා බලාගෙන සිටියා:

“නාට්‍ය ගැන නම් අහන්න එපා මල්ලි. මේ යන විධියට මොන නාට්‍යද! කරන්න පුළුවන් ඔය මෙගා ටෙලියකට මූණ දාන එක විතරයි. මගෙන් ඇහුවොත් දැනුත් මං මෙගා එකකට එනවා.”

මනෝ අයියා නාට්‍ය ගැන සිහි කරද්දි මට මතක් වුණේ ඔහුගේ තලමල පිපිලා, ගුරුතරුව, පුත්‍ර සමාගම, කණේරු මල්, අන්දරේලා, ලෝකය තනි යායක් වගේ නාට්‍ය. හැබෑට ඒ නාට්‍යවලට මොකද වුණේ? ඇයි ඒවා දැන් පෙන්නන්නෙ නැත්තෙ? ඒවා නේද නියම නාට්‍ය? කමක් නෑ, එතුමාගේ සෙල්ලම් නිරිඳු, සුදු රෙදි හොරු, බූරුවා මහත්තයා තවම පෙන්වනවානෙ හැම තැනම. ෂහ්, සුදු රෙදි හොරු එතුමා හැදුවේ 2008 අවුරුද්දෙ. තවමත් සුදු රෙදි හොරු ජයරාමෙට ඉන්නවානෙ වේදිකාවල. ඒක හොඳයි. සෙල්ලම් නිරිඳුත් බූරුවා මහත්තයාත් නොකඩවා ඉදිරියට යනවා. ඒ ගැන හුඟක් සතුටුයි.

“මනෝ අයියා ළඟ නැද්ද අද කාලෙට ගැළපෙන පිටපතක් එහෙම.” මං මනෝ අයියාගෙන් ඇහුවේ ඔහුගේ කතාවෙන් මටත් නාට්‍ය උනන්දුවක් ඇති වුණු හින්දා. නැතුව හිතලා මතලා අහපු ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම අහන්න පිස්සුයැ එහෙම මනුස්සයෙක්ගෙන්!

“මල්ලි, අද කාලෙට ගැළපෙන පිටපත් අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. ඔය වේදිකා දිහා බලා ඉද්දි ඇහැට පේන්නෙම පිටපත්නෙ. උදාහරණයකට දැන් ප්‍රමිතියෙන් තොර එන්නතක් හදන්න කෙහෙළිය මහත්තයා කාටද උපදෙස් දීලා තියෙනවා නේද? පස්සෙ ඒ එන්නත් කෝටි ගාණකට මිනිහා සල්ලි ගෙවලා මිලට අරගෙන නේද? ඒක මරු පිටපතක්නෙ. ඊළඟට අපේ ආරක්ෂක ඇමැතිතුමා මිනිස්සුන්ට යුක්තිය ඉටු කරගෙන යනවා පේනවාද මේ දවස්වල? ඒකත් හොඳ පිටපතක්. ඒ විතරක්ද? නෙළුම් මාවතේ, ඩාලි පාරේ, සිරිකොතේ හොඳ හොඳ පිටපත් දිගහැරෙනවා පේන්නෙ නැද්ද? මේවා මරු පිටපත්නෙ මල්ලි කරනවා නම්.”

මනෝ අයියා මෙච්චර දේවල් දන්නෙ කොහොමද කියල මට හිතාගන්න බැරි වුණා. ඒත් ඔහුගේ උත්තරේ ඇහුවාම මට හිතුණා මං මොන මෝඩ ප්‍රශ්නයක්ද ඇහුවේ කියල. ආයෙ මනෝ අයියා හම්බෙයිද කියල විශ්වාස නැති හින්දා ඔහුගෙන් තව ප්‍රශ්නයක් ඇහුවා.

“ඔක්කොම එපා වෙලා මනෝ අයියෙ ඉන්නෙ. නාට්‍ය කරන්න තියා නාට්‍යයක් බලන්නවත් හිතෙන්නෙ නෑ.”

ඒක ප්‍රශ්නයක් නෙවෙයි, මගේ නෝක්කාඩුවක්. ඒත් මනෝ අයියා ඒකට උත්තරයක් දුන්නා:

“එහෙම හිතන්න එපා මල්ලි. මං ජීවත් වෙලා ඉන්දැද්දිත් ඔහොම ඔළුව අවුල් වෙන කාල තිබුණා. දැන් හිටං කාපු කාලෙ මං හිටියා. හිටං වෙනුවෙන් වැඩත් කළා මං. ඒත් මොකද වුණේ? හිටං මිනිස්සු මැරිලා ගියා. බලාපොරොත්තු කඩාගෙන වැටුණාට කලකිරෙන්න එපා. මට පේන විධියට නම් මෙයා මොනවා හරි කරයි. ඒත් හැබැයි මං ටක්කෙට කියන්නම්, මෙයා හුණුවටයේ කතාව නම් බලලා නෑ. මොකද හුණුවටයේ කතාවයි මෙයා කියන කතාවයි දෙකක්. ඒක එකක් වෙන්නෙ නෑ. එකක් වෙනවා බූරුවා මහත්තයා ගැන කිව්වා නම්. එහෙම නැත්නම් සෙල්ලම් නිරිඳු ගැන කිව්වා නම්.”

මනෝ අයියා කියපු දේ මට එච්චර තේරුණේ නෑ. ඒත් ඔහු නාට්‍ය ගැන දක්වන උනන්දුව මාව ප්‍රබෝධමත් කළා.

“මල්ලි කියන ප්‍රශ්නෙ මටත් විසඳගන්න බැරි පැත්තක් තියෙනවා බං. දැන් මිනිස්සු නාට්‍ය ශාලාවලට යන්නෙ නෑ. ඒක හරි. මොකද මිනිස්සුන්ට ශාලාවලට ගිහින් බලන්න අමුතුවෙන් නාට්‍ය ඕන නෑ. දේශපාලන වේදිකාවල, විද්‍යුත් නාළිකාවල, යූටියුබ් නාළිකාවල ඔක්කොම නාට්‍ය අමුවෙන්ම පෙන්වනවා. ඉතින් ශාලාවලට යන්න අවශ්‍ය නෑ. හැබැයි ඒක ප්‍රශ්නයක් නාට්‍යකරුවන්ට. මල්ලි පත්තරකාරයෙක්නෙ. දැන් මල්ලිගේ පත්තරේ විකිණෙන්නෙ නැත්නම් කොහොමද අයිතිකාරයා මල්ලිලාට පඩි ගෙවන්නෙ? අන්න ඒ වගේ ප්‍රශ්නයක් මේක.”

මනෝ අයියා එහෙම කියල මට හතරමංහන්දියේ ජයසිරිගේ කඩෙන් ප්ලේන්ටියක් බොන්න ආරාධනා කළා. ඒ එක්කම මට මෙහෙමත් කිව්වා: “මල්ලි ළඟ සල්ලි තියෙනවා ඇතිනෙ ප්ලේන්ටියට. මොකද මගෙ ළඟ මාරු සල්ලි නෑ. මාරු නැති සල්ලිත් නෑ.” “හරි හරි අයියා. ඒකෙ ප්‍රශ්නයක් නෑ,” මං කිව්වා ඒකෙ ප්‍රශ්නයක් තිබුණා වුණත්.

“ඇත්තටම මල්ලි මොකද මේ දුව දුවා ගියේ? ආසන්නම හේතුව මොකක්ද?” ප්ලේන්ටි උගුරක් තොල ගාන ගමන් මනෝ අයියා මගෙන් ඇහුවා. මට ඇත්ත කියන්නෙ නැතුව ඉන්න බැරි වුණා. “හරිම අමාරුයි අයියා ජීවත් වෙන්න,” මං කිව්වා. “මට තේරුණා මල්ලි. ඒත් අමාරු නැති කාල ගැන නම් හිතන්න එපා. මොකා රජ වුණත් කාලෙ හොඳ වෙන්නෙ නෑ. එදා සුදු රෙදි හොරු හිටියා. අද බෙහෙත් හොරු, ප්‍රශ්න ඇහුවාම කටේ ඇඟිලි තියන හොරු ඉන්න පුළුවන්. හැබැයි හොරු අල්ලන්න කියල නම් ඡන්දෙ දෙන්නත් එපා. ඡන්දෙ දුන්නත් හොරු අල්ලයි කියල හිතන්නත් එපා.”

මනෝ අයියා එක්ක තව ටිකක් කථා කරන්න මට ආස හිතුණා. ඒත් ප්ලේන්ටිය තොල ගෑ හැටියම ජයසිරිගේ තේ කඩේට තව නාට්‍යකාරයෙක් ගොඩ වුණා. මට මුලදි මගෙ ඇස් අදහන්න බැරි වුණා. ඒත් පස්සෙ හරියටම කෙනා හඳුනගත්තා. ජැක්සන් ඇන්තනි. ජැකා! විශ්වාස කරන්න බැරි දේවල් හුඟක් අද කාලෙ සිද්ධ වෙන නිසා මං ඒ දර්ශනයත් ගාණකට ගත්තෙ නෑ. හැබැයි ජැකා ප්ලේන්ටියට අතගහන්න වාඩි වුණෙත් “කොල්ලො, ඔන්න මගේ ළඟ නම් සල්ලි නෑ” කියාගෙන. මාව ටිකක් විතර ගැස්සිලා ගියත් මං සිනාවක් නඟාගන්න උත්සාහ කළා. “හැමෝම හිතුවේ මං මයිනලාගෙන්, කපුටලාගෙන් සල්ලි ගැරුවා කියලනෙ. ඒත් මං එහෙම කරපු මනුස්සයෙක් නෙවෙයි. මං හත්මුතු පරම්පරාවක කලාකාරයෙක් නොහිටපු හද්ද ගැමියෙකුගේ දුප්පත් පුතෙක්” ජැකා කියාගෙන ගියා. හැබැයි ජැකා ප්ලේන්ටිය තොල ගාද්දි දිව දෙකක් එළියට එනවා මට පෙනුණා. මං ඒක ගණන් ගත්තෙ නෑ. මොකද ජැකාත් මගේ ලෝකයේ වීරයෙක්.

“ඇත්ත වශයෙන් මල්ලි, කලාකාරයෙකුට බලය පස්සෙ, සල්ලි පස්සෙ දුවන්න බෑ. දැන් නාට්‍ය කරන්න පුළුවන් ඕන තරම් දේශපාලන පක්ෂෙකට හේත්තු වුණොත්. අපේ කේමදාස මාස්ටර් පවා ඔපෙරාවක් කළානෙ සීනුවක් අතේ තියාගෙන. මාස්ටර් ඒක ස්වාධීනව කළා වෙන්න පුළුවන්. ඒත් ඒක පක්ෂ අනුග්‍රහයක් නිසා කරපු නාට්‍යයක්. ඒත් මං කියන්නෙ මල්ලිලාට එහෙම නාට්‍ය කරන්න එපා කියල. මොකද එහෙම කළොත් නාට්‍යය නැති වෙයි, වෙන බහුබූතයක් මතු වෙයි. නේද ජැකා?”

මනෝ අයියා අන්තිමටම කිව්වේ ඒ ටික. ඒ ටික කියද්දි ඔහු වගේම ජැකාත් සිටියේ අන්තිම ප්ලේන්ටි උගුර අදිමින්. ඉතින් මං හිස ඔසොවද්දි මනෝ අයියාත් ජැකාත් අසුරු සැණින් අතුරුදන් වෙලා තිබුණා. මට තව ටික වෙලාවක් දෙන්නා එක්කම ඉන්න තිබුණා නම් කියල හිතුණා. ඒත් අපි ආස කරන දේවල් අපට වැඩි වෙලාවක් නොදෙන්න දෙයියො තීරණය කරලා තිබුණා.

මං ජයසිරිගේ කඩෙන් හතරමංහන්දියට පා තිබ්බා. ඒත් පුදුමයකට ආයෙත් මනෝ අයියා පෙනී සිටියා මහපාරෙ. ජැකාත් සිටියා. ජැකා සිටියේ අහසේ. මනෝ අයියා මට මෙහෙම කිව්වා:

“මල්ලි, දුවන එක නවත්වන්න එපා. දිවිල්ල නතර කළොත් ඇදගෙන වැටෙන්න පුළුවන්. මොකද ඔය දුවන්නේ දුවන පටියක කියල අමතක කරන්න එපා. පටිය දුවන එක නවත්වන්න අපි උත්සාහ කළා. ඒත් හරි ගියේ නෑ. ඒත් මල්ලි දුවන ගමන් බලන්න ඔය පටිය නවත්තන්න. බැරි වුණොත් පටිය ගලවලා විසිකරලා හරි දාන්න. මල්ලිලාටවත් ඒක කරන්න ලැබේවා කියල මං ප්‍රාර්ථනා කරනවා.”

මනෝ අයියාගේ අපභ්‍රංසෙ මට තේරුණේ නෑ. ඒත් මං දුවන්න ගත්තා. ඉතින් තවම මං දුවනවා.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment