කවියන්ගේ වයස ආපසු හැරවූ සොඳුරු කවියකුගේ නික්ම යෑම

131

කිරළගහවෙල මාටින් ජයවර්ධන

මීට වසර පහකට පෙර පැවැති ප්‍රවීණ කිවිවර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ‘සුදුනෙළුම’ සාහිත්‍ය කලා මංගල්‍යයේ ප්‍රධාන දේශනයේ දී ප්‍රවීණ ගීත රචක මහින්ද චන්ද්‍රසේකරයන් මෙවන් ප්‍රකාශයක් සිදුකළේ ය.

‘අසූව දසකයේ මැද භාගයේ අගනුවර තරුණ කවි සමාජයේ ආරාධනයකට චීන කවීන් පිරිසක් ලංකාවට එනවා. ඒ පිරිසේ නායකත්වය දරන්නේ චීන කිවිවර ලූලී. ඔවුන් යනව සීගිරිය බලන්න. සීගිරියෙන් බැහැලා ලූලි කියනවා, ‘සීගිරිය නගිනකොට මට අවුරුදු හැත්තෑ දෙකයි. දැන් මම සීගිරිය බහිනකොට ඉලක්කම් මාරුවෙලා වගෙයි. දැන් මගේ වයස විසිහතයි’ කියල.

මෙතන ඉන්නවා, කොළඹ යුගයේ ප්‍රධාන කවියකු වන කිරළගහවෙල මාටින් ජයවර්ධන කවියා. ඔහු හරි අපූරු කවියක් කියනවා.

කවියන්ගේ වයස ආපසු හැරවූ සොඳුරු කවියකුගේ නික්ම යෑම

ඒ අපූරු හිටිවන කවිය කියමින් කවියන්ගේ වයස ආපසු හැරවූ කිරළගහවෙල මාටින් ජයවර්ධන නම් ඒ අපූරු කවියා අද අපෙන් සමුගෙන ය. ඔහු සුජීවත්ව සිටිය දී එසේ ආපසු හැරවූයේ කවියන්ගේ වයස පමණක් නොවේ. ඔහු තමන්ගේ වයස ද ආපසු හරවා ගත්තේ ය. ඒ, ජීවිතය සතුටින් හා සැහැල්ලුවෙන් විඳිමිනි. එනිසාම ඔහුට අවුරුදු අනූඅටක් පරමායුෂ විඳින්නට වරම් ලැබිණි.

කොළඹ යුගයේ දෙවැනි කවිපරපුරේ මේ දක්වා සුජීවත්ව සිටි වයෝවෘද්ධතම කවියා ලෙස සැලකෙන්නේ ඔහු ය. පී. බී. අල්විස් පෙරේරා, විමලරත්න කුමාරගම, එච්. එම්. කුඩලිගම, සාගර පලන්සූරිය, මීමන ප්‍රේමතිලක, විමල් අබේසුන්දර, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, බැන්ටිස් රණවීර, ජී. එච්. පෙරේරා ඇතුළු ශ්‍රේෂ්ඨ කවියෝ බොහෝ දෙනෙක් එම පරපුරට අයත් වූහ.

1925 ජූලි මස 10 වැනි දා ගාල්ලේ, කිරළවැල්ලේ උපත ලද මාටින් ජයවර්ධන මූලික අධ්‍යාපනය හැදෑරුවේත්, සිය කවි දිවියේ ප්‍රථම ත්‍යාගය හිමිකර ගත්තේත් තෙල්වත්ත ශ්‍රී රාහුල විදුහලෙනි. ‘ගොවියකුගේ උදානය’ නම් ඔහුගේ මුල් ම කවිපෙළ පුවත්පතක පළවෙන්නේ 1944 වසරේ මහානාම දිසානායක සූරීන් කර්තෘත්වය දැරූ ‘පෙරමුණ’ පුවත්පතේ ය. ඉන්පසු ඔහුගේ කවි ‘සුවඳ’, ‘දේදුන්න’, ‘මීවදය’, ‘දියඇල්ල’, ‘කලුගඟ’ වැනි එවකට මෙරට ජනප්‍රියව පැවැති කවිසඟරා රැසක වරින් වර පළවන්නට විය. ඊට අමතරව ඔහු සිය හරබර හිටිවන කවියෙන් මුළු රට ම රසවත් කළේ ය.

කිරළගහවෙල මාටින් ජයවර්ධන අග්‍රගණ්‍ය කවියකු මෙන්ම, ළමාකතා රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, පරිවර්තකයකු සහ ගුවන්විදුලි නාට්‍ය රචකයකු ලෙස ද ප්‍රකටව සිටියේ ය. 1945 වසරේ රෙදිපිළි පාලන දෙපාර්තමේන්තුවේ වැඩ පරීක්ෂකවරයකු ලෙස රාජ්‍ය සේවයට බැඳුණු ඔහු රාජකාරිය දේවකාරිය ලෙස සලකා කටයුතු කළ රාජ්‍ය නිලධාරියෙකි. රටට දැයට ඔහු සිදුකළ ඒ මාහැඟි යුතුකම ඔහු තම අත ගත් චන්ද්‍රා විදානපතිරණ කිවිඳියටත්, ඔවුන් දෙදෙනාගේ ආදරණීය දුවා දරුවන් සය දෙනාටත්, මුණුපුරු මිනිපිරියන්ට සහ මී මුණුපුරු මිනිපිරියන්ටත්, බෑණලා සහ ලේලිලා ඇතුළු පවුලේ සැමටත් එක හා සමානව පුදකළේ ය. මීට කලකට පෙර අප අතරින් වියෝ වූ ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාතිලක හඳුන්පතිරණ ඔහුගේ බෑණනුවන් ය. ප්‍රවීණ කිවිඳියක හා ලේඛිකාවක බවට අද දවසේ පත්ව සිටින ඉන්ද්‍රා පුෂ්පානි ජයවර්ධන කිරළගහවෙල මාටින් ජයවර්ධන කවියාගේ මහරු කවිකම ඉදිරියට ගෙනයන ඔහුගේ දියණියකි.

පස්වතාවක් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද කිරළගහවෙල මාටින් ජයවර්ධන කවියා තවත් විවිධ සම්මාන තිස් ගණනකින් මෙන් ම, කිවිපති සහ කලාභූෂණ යන ගෞරව නාමයන්ගෙන් ද පිදුම් ලැබී ය. අපි ඒ අග්‍රගණ්‍ය කලාකරුවාට නිවන්සුව ප්‍රාර්ථනා කරමු.

● අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment