මේක නීති විරෝධීයි: විදුලි බිල වැඩි කිරීම නවත්වන්න කථානායක නියෝගයක් දෙන්න – විපක්‍ෂ නායක සජිත්

104

නැවත වතාවක් විදුලි බිල වැඩි කිරීම නීති විරෝධී බැවින් එය නවතාලීමට වහා නියෝගයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඊයේ (20දා) විශේෂ ඉල්ලීමක් කළේය.

එහිදී ඔහු මෙසේ කීය – මම පසුගිය දිනෙක විදුලිය බිල නැවත වැඩි කිරීමක් ගැන 27/2 යටතේ ප්‍රශ්න කළා. නමුත් ඇමැතිවරයා ඊට උත්තර දීම කල් ගත්තා. රුපියල් බිලියන 31ක පාඩුවක් මගහරවා ගැනීමට විදුලි බිල සියයට 22කින් වැඩි කරන පදනම මත මහජන උපදේශනයකුත් කැඳවලා තිබෙනවා. පසුව විදුලි බිල සියයට 18 කින් වැඩි කරන්න දැන් තීරණය කරලා තිබෙනවා එකපාරටම. කිසිම දත්තයක් නැතිව.

අපි තර්ක කරන්නේ විදුලි බිල වැඩි කරන්න කිසිම අවශ්‍යතාවක් නෑ. මොකද මේ පවතින මිල තුළ විදුලිබල මණ්ඩලය ලාභ ලබනවා. අනෙක වසරකට දෙවරක් පමණයි විදුලි බිල වැඩි කරන්න පුළුවන් වෙන්නේ. නමුත් දැන් ඒක හතරපාරක් බවට පත් කරගෙන අනීතිකව ඒ පනත උල්ලංඝනය කරමින් වැරදි වැඩක් ක්‍රියාත්මක කරනවා.

දැන් විදුලි බිල වැඩි කරන්න තීන්දු අරන් ඉවරයි. විදුලි බල ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් නෑ. මගේත් අපේ මන්ත්‍රීවරුන්ගේත් වරප්‍රසාද කඩ වී තිබෙනවා. මෙහෙම වැරදි වැඩ කරන්න එපා. මේ විදිහට විදුලි බිල වැඩි කිරීම නැවැත්වීමට ඒ සම්බන්ධයෙන් නියෝගයක් දෙන්න කියලා ඉල්ලනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment