සිංහබාහු යළි හදන දවසක් කියන්න බෑ!

614

තව දින 40ක රූගත කිරීම් තිබුණා

සිංහබාහු සිනමාපටය නැවත ඇරඹීමේ දින වකවානුවක් සිතා ගත නොහැකි බවත් එවැන්නක් පිළිබඳ සැලසුමක් කිරීමේ මානසිකත්වයක් තමන්ට ද නැති බවත් සිංහබාහු සිනමාපටයේ නිර්මාණ අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක පවසන්නේය.

“චිත්‍රපටියේ ඉදිරි සැලසුම් ගැන ජැක්සන්ගේ සෞඛ්‍ය තත්තවයත් එක්ක මට මේ වෙලාවේ හිතන්න මානසිකත්වයක් නෑ. රූගත කිරීමේ අධියර සියල්ල දැන් අපි නවත්තලා තියෙන්නෙ. අපි කාට උනත් මේක කරගෙන යන්න මානසිකත්වයක් නෑ. ඊළඟට කවද්ද පටන් ගන්නෙ කොහොමද පටන් ගන්නෙ කියල සැලසුමක් නෑ. ඒ ගැන හිතන්නෙත් නෑ. වෛද්‍යවරු කියන විදියට ජැක්සන්ට ටික කාලයක් විවේකීව ඉන්න සිදුවේවි. ඒක කොච්චර කාලයක්ද කියල තාම කියන්න බෑ. ඒ නිසා මට වුණත් තාම චිත්‍රපටියේ ඉදිරිය ගැන හිතන්න මානසිකත්වයක් නෑ” යැයි සෝමරත්න දිසානායක පවසන්නේය.

සිංහබාහු යළි හදන දවසක් කියන්න බෑ!

රූගත කිරීමෙන් අනතුරුව නවාතැන දක්වා යමින් සිටියදි අනතුරට ලක්වූ ජැක්සන් ඇන්තනී මේ වන විට පැය හතක ශල්‍යකර්මයකින් පසුව රෝහල් දැඩි සත්කාර ඒකකයේ පසුවන්නේය. අනතුර සිදුව ඇත්තේ සිංහබාහු චිත්‍රපටයේ සමස්ත රූගත කිරීම්වලින් තුනෙන් එකක ප්‍රමාණයක් අවසන් කර තිබියදීය. දඹුල්ල සහ සීගිරිය ප්‍රදේශවල දින විස්සක් පුරා පැවති රූගත කිරීම්වලින් අනතුරුව ඔවුන් අනුරාධපුර ප්‍රදේශය පසුබිම් කරගෙන චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළ තෙවන දිනයේ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීට සිදුවිය. සිංහබාහු සිනමාපටයේ රූගත කිරීමේ සැලසුමට අනුව සෝමරත්න දිසානායක පවසන්නේ අනතුර සිදු වූ අවස්ථාව වන විට තවත් දින 40 ක කාලයක් රූගත කිරීම සඳහා සැලසුම් කර පැවති බවය.

“චිත්‍රපටියේ කරන්න තිබෙන ජැක්සන්ගේ භූමිකාවේ වැඩි කොටසක් කරන්න තිබුණේ අනුරාධපුර ෂැඩුල්එකේ. ඒ වෙනකොට ජැක්සන් ඉන්න ජවනිකා කිහිපයක් අපි දඹුල්ලෙදි කරල තිබ්බා. හැබැයි ප්‍රධානම ජවනිකා ටික තියෙන්නෙ අනුරාධපුරය පසුබිම් කරගෙන තිබෙන දර්ශන තලවලදි. අපි රාත්‍රී අට වෙද්දි රූගත කිරීම එදා සාර්ථකව අවසන් කළා. හැමෝම හිටියෙ සතුටෙන්. ජැක්සන් මොනම රූගත කිරීමකට ගියත් එයා තමන්ගෙ වාහනෙ යන්නෙ එන්නෙ. ඒ වගේම වෙන කව්රුවත් ඩ්‍රයිව් කරනවටවත් එයා කැමති නෑ. අපිත් එයාගේ වාහනේට විනාඩි පහකට විතර පස්සෙන් ආවේ. අනතුරක් වෙලා සෙනග ඉන්නව දැකල බලද්දි තමයි ඒ තියෙන්නෙ ජැක්සන්ගෙ වාහනේ කියල අපි දැනගත්තෙ. ඒ වෙනකොට මිනිස්සු ජැක්සන්ව වාහනෙන් එළියට අරන් තිබුණා. මම පරිස්සමට ඔහුගෙ ඔළුව ඔඩොක්කුවෙන් තියාගෙන රෝහලට අරන් ගියා. ඇත්තටම තව විනාඩි කිහිපයක් පරක්කු වුණා නම් ජැක්සන්ගෙ ජීවිතේ විනාශවෙන්න ඉඩ තිබුණා. මොකද රෝහලට යද්දි ඔහුගෙ පපුවෙ හුළං පිරිල පෙණහලු හැකිලෙමින් තිබ්බෙ. වෛද්‍යවරු පමාවකින් තොරව අවශ්‍ය ප්‍රතිකාර වෙලාවට කළ නිසා ජිවිතය බේරුණා කියල අපට කිව්වා.” සෝමරත්න දිසානායක ඒ මොහොත සිහිපත් කරමින් කීවේය.

සිංහබාහු සිනමාපටයේ ඉදිරිය තීරණය වන්නේ ජැක්සන් ඇන්තනී සුවපත් වීමේ වේගය අනුවය. නැවත රූගත කිරීමක් පිළිබඳ සිත යොමු කරන්නේද ඉදිරි දිනකදි ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග කරන සාකච්ඡාවකින් පසුව බව සෝමරත්න දිසානායක තීරණය කර ඇත.

  • තිස්ස
advertistmentadvertistment
advertistmentadvertistment